- 2025 වසර පුරා අලෙවි කළේ ඩො.මි. 205 ක් පමණයි
- මේ දක්වා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 7.8 කින් අවප්‍රමාණය වෙලා
ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 223.3ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කර ඇති බව වාර්තා වේ. මෙහිදී මූලිකවම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා සිදු කළ මැදිහත්වීමක් ලෙස මහ බැංකුව මෙම ඩොලර් අලෙවිය කර තිබේ.
මේ අතර මහ බැංකුව මැයි මාසයේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළන් ඩොලර් මිලියන 12ක් මිල දී ගෙන ඇති අතර, ඒ අනුව ශුද්ධ වශයෙන් පසුගිය මාසය තුළ මහ බැංකුව අලෙවි කර ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 211.3 ක් බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
2025 වසර සඳහා මහ බැංකුව අලෙවි කර තිබූ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 205.3ක් වන අතර. 2024 වසරට අලෙවි කර තිබූ ඩොලර් ප්‍රමාණය මිලියන 183කි.
ඒ අනුව මෙය 2024 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසයක් තුළ කර ඇති විශාලම ඩොලර් අලෙවියද මෙය වේ.
2025 වසර තුළ දී ඩොලර් මිලියන 2,812ක් සහ 2024 වර්ෂය තුළ දී ඩොලර් මිලියන 3,029ක් වශයෙන් මහ බැංකුව ඩොලර් මිල දී ගැනීම් සිදුකර තිබුණි.
සමස්තයක් ලෙස 2026 මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 886.10ක් මිල දී ගෙන ඇති අතර විකුණා ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 400.20 කි. ඒ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 485.90ක් මහ බැංකුව 2026 මුල් මාස 05 තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.
මේ අතර 2026 ජූනි 05 වන විට ශ්‍රී ලංකා රුපියල, වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ සියයට 7.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

