වෙන්දේසිය පැවැත්වීමට පෙර, එම වෙන්දේසියට සහභාගී වීමට අවශ්‍ය නිසි අනුමැතිය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Life (SLIC Life) ආයෝජන කමිටු වෙතින් ලබාගෙන තිබූ බවත් එබැවින්, නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජනය කළ බවට ඉදිරිපත් කරනු ලබන චෝදනා SLIC සහ SLIC Life විසින් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සඳහන් කරයි.
2026 අප්‍රේල් 9 වැනිදා පැවැත්වූ මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) කළ ආයෝජනය පිළිබඳව පළ කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම කරුණු සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
2026 අප්‍රේල් 6 දින, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 2026 අප්‍රේල් 9 දින පැවැත්වීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ මහජන නිවේදනයක් නිකුත් කර තිබුණි.
ඇතැම් මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇති පරිදි රුපියල් බිලියන 10ක් නොව, SLIC සහ SLIC Life විසින් ආයෝජනය කර ඇත්තේ සමස්ත වශයෙන් රුපියල් බිලියන 6ක් පමණි. එහිදී, 2030 ජූලි 1 දිනට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයෙහි රුපියල් බිලියන 2ක් ආයෝජනය කර ඇති අතර, 2034 ජූනි 15 දින කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයෙහි රුපියල් බිලියන 3ක්ද, 2037 ජූලි 1 දිනට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයෙහි රුපියල් බිලියන 1ක්ද ආයෝජනය කර ඇත.
වෙන්දේසිය සඳහා මහා භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාත තීරණය කිරීමේදී, අදාළ කාලසීමාව සඳහා වෙන්දේසියට පෙර ද්විතීය වෙළෙඳපොළේ පවතින වෙළෙඳ අනුපාත සවිස්තරාත්මක ලෙස විශ්ලේෂණය කර ඇත. SLIC සහ SLIC Life විසින් එම වෙළෙඳපොළ අනුපාතවලට වඩා ඉහළ අනුපාතවලින් ලංසු ඉදිරිපත් කරන ලද අතර සම්පූර්ණ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Life සමාගම් විසින් අක්‍රමිකතාවක් හෝ පූර්ව සැලසුම් කළ මූල්‍ය අනීතික ක්‍රියාවක් සිදුව ඇති බවට කරන සියලු චෝදනා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙම වෙන්දේසියට සහභාගීවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රාථමික සුරැකුම්පත් ගනුදෙනුකාර ආයතන පහක් මගින් සිදු කරනු ලැබීය. එනම්, Commercial Bank of Ceylon PLC, HNB Securities Ltd, First Capital Treasuries PLC, Capital Alliance PLC සහ WealthTrust Securities PLC යන ආයතන වේ. වෙළෙඳපොළ සම්ප්‍රදාය අනුව කිසිදු ගාස්තුවක් අය නොකෙරිණි. එබැවින්, මෙය මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හරහා රජය වෙත ඍජුව කළ ආයෝජනයකි.
විශාල ආයතනික ආයෝජකයන් ලෙස, SLIC සහ SLIC Life සමාගම්, පෙර පරිදිම ප්‍රාථමික සුරැකුම්පත් ගනුදෙනුකාර ආයතන මාර්ගයෙන් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා නිරන්තරයෙන් සහභාගී වී ඇත.
ඇතැම් මාධ්‍ය ප්‍රචාර ඔස්සේ සඳහන් වන පරිදි, SLIC හෝ SLIC Life විසින් සියයට 9.75 දරන අනුපාතයකින් කිසිදු ආයෝජනයක් කර නොමැත. සියයට 9.75 යනු 2030 ජූලි 1 දින ට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම්කරයේ කූපන් පොලී අනුපාතය වන අතර, අප එම බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ සියයට 9.75 ට වඩා ඉහළ ඵලදායීතා අනුපාත යටතේය.
අදාළ බැඳුම්කරවල ගිණුම්කරණ මූලධර්ම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය 9 (SLFRS 9) අනුව සිදු කරනු ලබන බැවින්, රුපියල් මිලියන 500 ක අලාභයක් දැනටමත් සිදුව ඇති බවට කරන ලද අසත්‍ය, නොමග යවන සහ ද්වේශසහගත චෝදනා SLIC සහ SLIC Life සමාගම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

