බ්‍රවුන්ස් EV වේගවත් ආරෝපණයක් සහිත BAW E7 Pro එළිදක්වයි




විද්‍යුත් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාවෙන් සිටි වේගවත් ආරෝපණයක් (fast-charging) සහිත BAW E7 Pro, බ්‍රවුන්ස් EV මඟින් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීම පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. ශ්‍රී ලංකාව තුළ, දැරිය හැකි මිලකට හිමිකරගතහැකි විද්‍යුත් වාහන වෙළෙඳපොළේ, වර්ධනයට ඉවහල් වන වැදගත් සංධිස්ථානයක් මෙම එළිදැක්වීම මඟින් සලකුණු වෙයි. එමෙන්ම වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කළ විද්‍යුත් වාහන පෙළ පුළුල් කිරීම සඳහා බ්‍රවුන්ස් EV හි අඛණ්ඩ කැපවීම එමගින් පිළිබිඹු වෙයි. 

දේශීය වෙළෙඳපොළේ දැනට පවතින තරගකාරී මිල ගණන් සහිත විද්‍යුත් වාහනයක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි BAW E7 Pro, රුපියල් මිලියන 5.8 ක ඉතා තරගකාරී මිලකට ලබාගත හැකිවේ. කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ නවීන තාක්ෂණය එක් කරමින් දියුණු කර ඇති මෙම මාදිලිය විශේෂයෙන් නාගරික රියදුරන්ට ප්‍රායෝගික සහ ගැටලු‍වලින් මිදිය හැකි ප්‍රවාහන මෙවලමකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ තිරසර ප්‍රවාහන විකල්ප සඳහා ඉහළ යමින් පවතින ඉල්ලු‍මට සහායක් වන විද්‍යුත් වාහන නිර්මාණයක්ද වේ. 

දෛනික ගමනාගමනයට විශ්වාසදායක ක්‍රියාකාරීත්වයක් සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති BAW E7 Pro, එක් ආරෝපණයකින් කිලෝමීටර් 260 ක් දක්වා ධාවන පරාසයක් ලබා දෙයි. මෙම වාහනය බලගන්වන කිලෝවොට් පැය 22.29 ක ලිතියම් අයන් පොස්පේට් (LFP) බැටරිය කල්පැවැත්ම, තාප ස්ථායිතාව සහ වැඩිදියුණු කළ ආරක්ෂිත අංග සඳහා පුළුල් පිළිගැනීමක් සහිත තාක්ෂණයකින් වැඩිදියුණු කරන ලද්දකි. මෙම නවීන බැටරි පද්ධතිය නාගරික මෝටර් රථ පාරිභෝගිකයන්ගේ එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා සපුරාලමින් විශ්වාසදායක දිගුකාලීන ක්‍රියාකාරීත්වයක් සහතික කරයි.

වාහනයේ වේගවත් ආරෝපණ හැකියාව එහි කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නංවන අතර ආසන්න වශයෙන් විනාඩි 35 ක පමණ කාලයකදී එය සියයට 30සිට සියයට 80 දක්වා ආරෝපණය (charge) කළ හැකි වේ. එමගින් වාහනය අක්‍රියව පවතින කාලය අඩුවනවා මෙන්ම රියදුරන්ගේ පහසුව වැඩිදියුණු කරයි.

ප්‍රායෝගිකත්වය සඳහා නූතන සහ ආකර්ෂණීය ප්‍රවණතාවලට අනුකූල වන ලෙස නිර්මාණය කර ඇති BAW E7 Pro, නාගරික ධාවන තත්වයට වඩාත් ගැළපෙන අයුරින් සංයුක්ත, එහෙත් මනා අලංකාරවත් බාහිර පෙනුමකින් යුක්ත වේ. වාහනයේ අභ්‍යන්තරයේ අඟල් 9 කිටච්-ස්ක්‍රීන් තොරතුරු රසාස්වාද සංදර්ශකයක්, රිවර්ස් කැමරාවක් සහ අඟල් 5 ඩිජිටල් දර්ශන පුවරුවක් ඇතුළු නූතන තාක්ෂණික උපාංග මනා සංයෝජනයකින් යුක්තව ස්ථාපිත කර ඇත. වාහනය නිර්මාණයේදී ප්‍රමුඛතාවක් ලබාදී ඇති ද්විත්විඑයා බෑග්’, තිරිංග ප්‍රති-අගුළු (ABS) තිරිංග බලය නිසි ලෙස හැසිරවීමේ තාක්ෂණය (EBD) සහ ටයර් පීඩන අධීක්ෂණ පද්ධතිය වැනි විශේෂාංග ඊට සහාය වන්නේ රියදුරන්ට මාර්ගයේදී වැඩි විශ්වාසයක් සහ ආරක්ෂාවක් ලබාදෙමිනි. 

මෙම එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ, බ්‍රවුන්ස් EV විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා, නිෂ්පාදන නවෝත්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය යන අංශ දෙකම හරහා ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ප්‍රවාහනයේ වර්ධනයට සහාය වීම සඳහා වූ සමාගමේ දිගුකාලීන කැපවීම අවධාරණය කළේය. “අප දැනටමත් BAW E7 වාහන 1500 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කර ඇති අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් දැන් අප ඉදිරිපත් කරන විද්‍යුත් වාහනවල විශ්වසනීයත්වය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් පසුවේ. මෙම විද්‍යුත් වාහන යටිතල පහසුකම් පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් 2026 ජුනි මාසය වන විට TELD සමඟ හවුල්කාරීත්වයෙන් දිවයින පුරා ආරෝපණ මධ්‍යස්ථාන 100 ක් ස්ථාපිත කිරීමට අපි සැලසුම් කරමු. ඊට අමතරව, පාරිභෝගිකයන්ට BAW E7 වාහන පිළිබද විශ්වාසය දෙගුණ තෙගුණ කරමින් බැටරිය සඳහා වසර 10 ක වගකීමක් සහ වාහනය සඳහා වසර 3 ක වගකීමක් අපි පිරිනමන්නෙමු. පාරිභෝගික සහාය සහතික කරලීම සඳහා පැය 24 පුරා මාර්ගස්ථ සහාය සමග දිවයින පුරා ශාඛා 8 ක ජාලයක් හරහා ත්‍රී එස් (3 s) සංකල්පය (අලෙවිය, සේවා සහ අමතර කොටස්) ඔස්සේ අපගේ සේවා පුළුල් කරන්නෙමු.”