ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමට හලාවත දී සමුළුවක්


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරුමැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. 
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරුමැද පළාත් නියෝජනය කරමින් අපනයනකරු‍වෝ විශාල පිරිසක් සහභාගී වූහ.
ප්‍රාදේශීය අපනයන හැකියාව වර්ධනය කිරීම සහ ප්‍රාදේශීය අපනයනකරුවන්ට රජයේ ආයතන හා ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සමග ඍජු සන්නිවේදන මාර්ගයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. 
විශේෂයෙන්ම රේගු ක්‍රියාපටිපාටිය, නීතිමය හා පරිපාලනමය ගැටලු‍ මෙන්ම වෙළෙඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් පවතින අභියෝග සාකච්ඡා කර ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා මෙම සමුළුව වැදගත් වේදිකාවක් සැපයීය.
මෙහිදී අපනයනකරුවන් අමතමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, කලාපීය අපනයන වර්ධනයක් ඇති කිරීම සඳහා අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු‍ කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව බවයි. නව අදහස් හා යෝජනා ලබා ගනිමින් අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් වූයේ සහභාගී වූ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයන් සමග ඍජුව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීමයි. 
මේ හරහා ග්‍රාමීය නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ සම්බන්ධතා ලබා දීමටත්, වඩාත් සමානාත්මක අපනයන පද්ධතියක් සහ ශක්තිමත් සැපයුම් දාමයක් ගොඩනැගීමටත් අවශ්‍ය පදනම සකස් විය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණි විජේසිංහ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ඩී. එම්. පී. දිසානායක යන මහත්වරු සහභාගී වූහ. 
මීට අමතරව රාජ්‍ය ආයතනවල නියෝජිතයන්, වාණිජ බැංකු, සංගම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ අපනයන සංවර්ධන නිලධාරීහු ද මේ සඳහා එක්ව සිටියහ.