දිනේෂ් වීරක්කොඩි සිලෝන් හොටෙල් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ 


සිලෝන් හොටෙල් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව, ජනවාරි 21 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ නව ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. 

ඒ මහතා මේ වන විට මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභි වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරයි. 

දිනේෂ් වීරක්කොඩි මහතා පැවැති රජය යටතේ ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස මෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ද විය. 

එසේම, වීරක්කොඩි මහතා මීට පෙර මෙරට ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු DFCC බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර තිබේ. 

ඒ මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ද වෙයි. එසේම, ඔහු ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙන්ම සමාගම් තවත් කිහිපයකම අධ්‍යක්ෂ ධුර ද දරයි.