පසුගිය දිනවල කොටස් වෙෙළඳපොළ බරපතල බිඳවැටීම් ගණනාවක් සහිතව ආරම්භ වූ නමුත් ඊයේ (දෙසැ. 09) ගනුදෙනු අවසානයේ දී වර්ධනයක් සනිටුහන් කළේය. මෘදුකාංග සේවා, ගෘහ මෙවලම්, තොරතුරු සන්නිවේදන, රක්ෂණ, බැංකු, සෞඛ්‍ය සේවා හා මෙවලම්, පාරිභෝගික සේවා, සහ සිල්ලර වෙළෙඳාම ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක කොටස් මිල දී ගැනීම පිබිදීමකට හේතු විය.
මෙම වසරේ තුන් වැනි කාර්තුවේ දී ලැයිස්තු ගත සමාගම්වල ප‍්‍රතිලාභ සීමා වී ඇති නමුත් වසර අවසන් වන කාර්තුවේ ඇති විය හැකි ඉල්ලූම සලකා ගනුදෙනු යුහුසුළු වන බවක් දක්වයි. විශේෂයෙන් පසුගිය දිනවල පහළ වැටුණ මිල ගණන් සහිත සමාගම් කොටස් මිල දී ගැනීමට අලූත් උන්නදුවක් නිර්මාණය වෙමින් තිබේ.
සුළි සුළං ආපදා තත්වවලින් විනාශයට පත් ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජය අනුගමනය කරන පිළිවෙළ ගැන ආයොජන අංශ අපේක්ෂා සහගතව පසුවේ. දේශීය හා විදේශීය ආධාර සහන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අලුත් අවධානයකින් කටයුතු කරන්නට සූදානමක පසුවේ. මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණි වසර වශයෙන් සනිටුහන් වෙමින් පවතින අතරවාරයේ එහි ආදායම ද ආර්ථික වර්ධනයක එකතුවන බව ආයෝජන අංශ බලාපොරොත්තු වන බව පෙනේ.
දේශීය වශයෙන් ගොඩනැගෙන අරමුදල් මගින් බිඳවැටුණ අංශ පුනර්ජීවනයක් සඳහා පෙළ ගැසෙන ආකාරය අනුව දේශීය සුළු ආයෝජන අංශ ඉදිරියේ දී තව දුරටත් යුහුසුළු විය හැකිය. කෙසේ වෙතත් මැදි දිහා දිගු කාලීන වාසි අරමුණු කරගෙන මිල දී ගැනීම සුදුසු බව ආයෝජන උපදේශකයෝ දක්වති.
විදේශ තරමක් ක‍්‍රියාශීලී වී තිබේ. සඳුදා දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 68.56 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 25.2 කි. විදේශ විකිණීම් හෙයින් රුපියල් මිලියන 43 ක ශුද්ධ ආදායමක් රටට ලැබී ඇත. ඉකුත් සිකුරාදා හා සඳුදා දින දෙක තුළ පමණක් රුපියල් මිලියන 115 ක මුදලක් විදේශ ආදායම වශයෙන් රටට ලැබී තිබේ.
ඊයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,034.32 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 439.32 ක වර්ධනයකි. එස්.ඇන්ඩ්.පී. ශ‍්‍රී ලංකා දර්ශකය 6,004.11 ක් විය.
පෙර දිනයට සාපේක්ෂව දර්ශක 77.47ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.00 කි. ගනුදෙනු 33,384 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප‍්‍රමාණය මිලියන 105.78 ක් විය. සමාගම් 242 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 11 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 70.11 ක් වැනි ඉහළ අගයක විය.
තෝකියෝ සිමෙන්ති නිෂ්ඡන්ද රුපියල් මිලියන 281 ක්, ඩොක්යාඩ් රුපියල් මිලියන 212 ක්, ලාෆ් ගෑස් රුපියල් මිලියන 151 ක්, සියෙරා කේබල් රුපියල් මිලියන 141 ක්, තෝකියෝ සිමෙන්ති රුපියල් මිලියන 116 ක්, ඇක්සස් ඉංජිනියරිං රුපියල් මිලියන 73 ක්, හැටන් නැෂනල් නිෂ්ඡුන්ද රුපියල් මිලියන 89 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක

