ආපදාවේ හානිය ආසන්නව රු.බි. 320 ක් පමණ විය හැකි බවට අදහසක්.
පෞද්ගලික පරිභෝජනය, අපනයන ආදායම් පහළ යද්දී රජයේ වියදම් කිරීම් ඉහළට.
භානුක අමරසිංහ
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සියයට 0.5 - 0.7 අතර ප්‍රතිශතයකින් පහත වැටීමේ අවස්ථාවක් පවතින බව First Capital ආයතනය පවසයි. මෙම ස්වාභාවික ආපදා තත්වය සම්බන්ධයෙන් එම ආයතනය සකස් කළ මූලික ඇස්තමේන්තු වාර්තාවක මේ බව සඳහන්ව තිබේ.
ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වැනිදා සිට බලපෑ මෙම ස්වාභාවික ආපදාවේ ආර්ථික හානිය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 700ත් - බිලියන 1.07 ත් අතර අගයක් ගනු ඇති බවත්, එය රුපියල් වටිනාකමින් බිලියන 210 ත් 320ත් අතර අගයක් ගනු ඇති බවත් එම ආයතනය පවසයි. ඒ අනුව මෙය මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1ක ප්‍රතිශතයක් ගන්නා බව ඔවුන් සඳහන් කරයි.
“මෙහිදී කිසිදු ස්වාභාවික ආපදාවක් ඇති නොවුණා යන පදනමේ සිට බැලූ විට සැබෑ ආර්ථික වර්ධනය ආසන්න වශයෙන් සියයට 0.5ත් සියයට 0.7ත් අතර අගයකින් අඩු වේවි. විශේෂයෙන්ම පරිභෝජනය වෙත එල්ල වන බලපෑම්, ආයෝජන, දළ අපනයන සහ රජයේ වියදම්හි සිදු වන ඉහළ යෑම් යනාදිය ඊට හේතු වෙනවා.“

