දිට්වා ආපදා ප්‍රතිසංස්කරණයට කලාපීය වැවිලි සමාගම් සහ වැවිලි මානව සංවර්ධන භාරය තම කැපවීම යළිත් තහවුරු කරයි


විනාශකාරී දිට්වා චණ්ඩ මාරුතය හේතුවෙන් ඇතිවූ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ වැවිලි ප්‍රජාවට සහාය දැක්වීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) තම කැපවීම යළිත් තහවුරු කර ඇත. හදිසි සහන සේවා පුනරුත්ථාපන සහාය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින්, ආපදාවට මුහුණ දුන් වතු ජනතාවගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇතිවූ ආපදා තත්වය හමුවේ එම ප්‍රදේශ වෙත ළඟා වූ පළමු සහන කණ්ඩායම් අතර කලාපීය වැවිලි සමාගම් සාමාජිකයන් ද සිටි අතර, ආපදාවට ලක් වූ පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට වතු කළමනාකරුවන්ගේ මැදිහත්වීමෙන් ඔවුහු සිය උපරිම දායකත්වය ලබා දුන්හ. 
මේ සඳහා කර්මාන්තශාලා සහ වැවිලි සමාගමේ ගොඩනැගිලි ඇතුළු තාවකාලික නවාතැන් පහසුකම් සලසා දී ආහාර, වාසස්ථාන සහ අනෙකුත් මූලික සහන සේවා ද ලබාදීමට පියවර ගනු ලැබීය. මෙහි විශේෂත්වය වූයේ පුළුල් රාජ්‍ය සහන යාන්ත්‍රණ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට පෙරම මෙම සහන කටයුතු ආරම්භ කිරීමට වැවිලි සමාගම් දැක්වූ දායකත්වයයි.
මෙම ආපදාවෙන් වතු ප්‍රජාවට දැඩි බලපෑමක් එල්ල වූ අතර, පවුල් සිය ගණනකගේ නිවාස, මාර්ග හා මූලික යටිතල පහසුකම්, ජල සැපයුම් පද්ධති, අධ්‍යාපන පහසුකම් සහ ජීවනෝපාය මාර්ගවලට ද විශාල හානි සිදුවිය. මෙම තත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමක් ලෙස කලාපීය වැවිලි සමාගම් සහ වැවිලි මානව සංවර්ධන භාරය අවශ්‍ය සම්පත් සහ හවුල්කාරීත්වය සක්‍රීය කරමින්, ආපදාවට ලක් වූ වැවිලි ප්‍රජාව වෙත කාලානුරූපී සහන සේවා ලබා දීමට මේ දක්වා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී.
වැවිලි මානව සංවර්ධන භාරය, අහමඩ් ටී, රේන්ෆොරස්ට් එලයන්ස් ඇතුළු හවුල්කාර පාර්ශ්ව සහ මෙම වැඩපිළිවෙළට සහාය දැක්වූ අනෙකුත් පාර්ශ්වවල ද දායකත්වයෙන් රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් සහනාධාර ලබාදීමට කටයුතු කර ඇත. මෙම සහන වැඩසටහන් යටතේ ජල ටැංකි 100ක්, පොත් සහ සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල ඇතුළත් පාසල් බෑග් 2,000ක්, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතා බෙදාහැරීමට පියවර ගෙන තිබේ. එසේම පශ්චාත් ආපදා තත්වයෙන් පීඩාවට පත් වූ පවුල් සහ දරුවන්ට මානසික සහ සමාජීය වශයෙන් යළි ස්ථාවර වීමට අවශ්‍ය මගපෙන්වීම් සඳහා මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් ද සංවිධානය කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
දිට්වා ස්වාභාවික ව්‍යසනයෙන් අර්ධ වශයෙන් හෝ මුළුමනින් විනාශ වූ වැවිලි ප්‍රජාව නියෝජනය කරන පවුල් සඳහා ස්ථිර නිවාස සැලසුම්කරණය සහ යළි ගොඩනැගීමේ වැඩසටහන මේ වන විට කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහි වැදගත් පියවරක් ලෙස, ආපදාවට ලක් වූ වැවිලි ප්‍රජාව සඳහා ඉඩම් නිදහස් කිරීමට කලාපීය වැවිලි සමාගම් එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව රජයේ සහාය යටතේ වඩාත් ආරක්ෂිත හා ස්ථිර නිවාස ඉදිකිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම වැඩසටහන ප්‍රතිලාභීන් මූලික කරගත් ආකෘතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, කොන්ත්‍රාත්කරුවන් හරහා නොව, සුදුසුකම් ලත් පවුල් වෙත ප්‍රාදේශීය ලේකම්වරයා හරහා රජයේ මුදල් ඍජුව ලබාදීමට සැලසුම් කර තිබේ. 
නිවාස සම්පූර්ණයෙන් විනාශ වූ පවුල්වලට අදියරෙන් අදියර රුපියල් මිලියන 5ක් දක්වා මුදල් සහාය ලබාදීමට හැකි වන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා හානියේ තක්සේරු මට්ටම අනුව අලු‍ත්වැඩියා හා වැඩිදියුණු කිරීම් සඳහා ඉලක්කගත සහාය ලබාදීමට නියමිතය.
ඉදිකිරීමට නියමිත සෑම නව නිවසක්ම අවම ජීවන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, වර්ග අඩි 650කට ආසන්න බිම් ප්‍රමාණයක්, නිදන කාමර දෙකක්, ශාලාවක් හෝ අසුන් ගත හැකි ස්ථානයක්, මුළුතැන්ගෙයක්, ස්ථිර වහලක්, වැසිකිළි පහසුකම්, ආරක්ෂිත ජල ප්‍රවේශය, විදුලිය සහ මාර්ග ප්‍රවේශය ඇතුළත් විය යුතුය. මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. සමස්ත නිවාස වැඩසටහන වසරක් පමණ ඇතුළත අවසන් කිරීම එහි ප්‍රධාන ඉලක්කය වේ.