ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්වසනීය බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්ති විසඳුම් සපයන කීර්තිමත් සමාගමක් වන දම්රෝ සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට හැකි වන පරිදි පහසු හා දැරිය හැකි ණය විසඳුම් ලබා දීමයි.
මෙම හවුල්කාරීත්වය යටතේ දම්රෝ වෙතින් සූර්ය බලශක්ති පද්ධති මිලදී ගන්නා බැංකුවේ අවශ්‍යතා සපුරාලන පාරිභෝගිකයන්ට HNB විසින් පුද්ගලික ණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) ණය ලබා දෙනු ඇත. තවද මෙම ණය මුදල සූර්ය බලශක්ති උපකරණවල පිරිවැයෙන් සියයට 80 සිට සියයට 100 දක්වා ආවරණය කරනු ලබන අතර එමගින් නිවාස සහ කුඩා ව්‍යාපාරවලට තිරසාර බලශක්ති ප්‍රභව සඳහා ආයෝජනය කිරීමට ද උපකාරී වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB හි පාරභෝගික බැංකුකරණ ප්‍රධානී/ජ්‍යෙෂ්ඨ උප සභාපති කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “දම්රෝ සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය පාරිසරික තිරසාරභාවය සහ ජනතාව මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට උපකාර කිරීමට HNB හි අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට සූර්ය බලශක්තිය භාවිත කිරීමට සහ දිගු කාලීනව ඔවුන්ගේ විදුලි පිරිවැය අවම කිරීමට උපකාරී වන ණය ලබා දීමට හැකි වීම පිළිබඳව අපට සතුටුයි. ඒවගේම ශ්‍රී ලංකාව පුරා නිවාස සහ ව්‍යාපාර සඳහා සූර්ය බලශක්තිය ප්‍රායෝගික සහ දැරිය හැකි විකල්පයක් බවට පත් කිරීමට අප ආයතන දෙක එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.”
තවද මෙම ගිවිසුමට අනුව දම්රෝ එහි ප්‍රදර්ශනාගාර, අලෙවිසල් සහ online වේදිකා හරහා HNB හි ණය පහසුකම් ප්‍රවර්ධනය කිරීමට ද නියමිතය. මෙමගින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සූර්ය බලශක්ති පද්ධතිය මිලදී ගැනීමේ සිට එය ස්ථාපිත කිරීම හා භාවිත කිරීමේ ක්‍රියාවලිය දක්වා ඔවුන්ට නිවැරදි තොරතුරු සහ සහාය ලැබෙන බව සහතික කෙරේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක - විශේෂයෙන් දැරිය හැකි සහ පරිසර හිතකාමී බලශක්තිය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම පිළිබඳ ඉලක්ක සඳහා ද සහාය වේ. එය රට තුළ ධනාත්මක පාරිසරික හා ආර්ථික වෙනසක් ඇති කිරීමේදී HNB හි කාර්යභාරය තව තවත් ශක්තිමත් කරයි.

