
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ජාත්‍යන්තර රැස්වීම්, චාරිකා, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන දකුණේ සංචාරක හෝටල්වලට රැගෙන ඒම සඳහා එම හෝටල්, හෝටල් පරිශ්‍ර සහ කාර්ය මණ්ඩල සැකසිය යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව දකුණූ හෝටල් හිමියන් සහ සංචාරක පහසුකම් සපයන්නන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ නව සංචාරක ව්‍යාපාරික වැඩසටහනක් බෙන්තොට සීසෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශය සංවිධානය කළ මේ වැඩසටහන එම කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි, රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ වැඩසටහනේදී විදෙස් විවාහ මංගල උත්සව, සම්මන්ත්‍රණ, රැස්වීම්, ප්‍රදර්ශන, චාරිකා දකුණේ සංචාරක හෝටල්වලට ලබා ගත යුතු ආකාරයත් එහිදී ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත් දකුණේ තෝරාගත් සංචාරක හෝටල් සහ සංචාරක ව්‍යාපාරය හා බද්ධවූ අය දැනුම්වත් කිරීම සිදු කෙරිණ.
ඩිජිටල් දත්ත උපයෝගී කරගෙන විදෙස් රැස්වීම්, දේශන, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, විවාහ මංගල උත්සව දකුණේ හෝටල්වලට රැගෙන ඒමට ගතයුතු කියා මාර්ග පිළිබඳවද මෙහිදී පිරිස දැනුම්වත් කෙරිණ.
මේ වැඩසටහන හඳුන්වා තිබුණේ දකුණු ශ්‍රී ලංකාවේ MICE සංචාරක කර්මාන්තයේ නව යුගයක් ආරම්භ කිරීම හා දකුණු ශ්‍රී ලංකාව MICE සංචාරක කර්මාන්තයට සූදානම් බවත් යන්න තේමා කරගනිමින්ය.
මේ නවමු සංචාරක වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයන් ගොඩකන්ද මහතා සඳහන් කළේ දකුණු ශ්‍රී ලංකාව යනු සංචාරක ගමනාන්තයක් පමණක් නොව, ජාත්‍යන්තර MICE සංචාරක කටයුතු සඳහා විශාල හැකියාවක් සහ විභවයක් සහිත කේන්ද්‍රස්ථානයක් බවත් දකුණේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කාර්යාංශය විසින් සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, MICE ඇතුළුව දකුණු පළාතේ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ද ඉදිරියේදී දියත් කිරීමට නියමිත බවත්ය.
ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර MICE ගැනුම්කරුවන් ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා විදේශීය ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රදර්ශන හා මාර්ග සංදර්ශන රැසක් සංවිධානය කර ඇති බවත්, එම කාර්යන් කිරීමේදී රුහුණු සංචාරක කාර්යාංශය සමග සමීප සහයෝගීතාවෙන් හා සම්බන්ධීකරණයකින් කටයුතු කරමින් පළාතේ හෝටල් හා පහසුකම් සපයන්නන්ට සහයෝගය ලබා දීමට සූදානම් බවත්ය.
තාක්ෂණික ඒකාබද්ධතාව, උත්සව කළමනාකරණය, තිරසාර භාවිතයන්, අත්දැකීම් නිර්මාණය කිරීම සහ නවීන අලෙවි හා ප්‍රවර්ධන ක්‍රමවේද පිළිබඳ විශේෂ අවධානය මේ වැඩසටහනේදී එයට සහභාගීවූවන්ගේ අවධානයට යොමු කෙරිණ.
ජෝන් කීල්ස් ලෙෂර් ආයතනයේ ගෝලීය සන්ධාන සහ හවුල්කාරිත්ව අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිලීප් මුදාදෙණිය මහතා ගෝලීය MICE වෙළෙඳපොළ ප්‍රවණතා සහ අනාගත අභියෝග පිළිබඳ වටිනා දැනුම සහභාගී වූවන් වෙත ලබා දීමට පියවර ගත්තේය.
ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පාඩි පෝල් මහත්මිය දකුණු ශ්‍රී ලංකාවේ MICE සංචාරක හැකියාව, අවස්ථා සහ අභියෝග පිළිබඳ කරුණු පැහැදිලි කළ අතර, එම අභියෝග අවස්ථා බවට පරිවර්තනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළාය.
වැලිගම Marriott Resort & Spa හි අලෙවි හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ අසංක ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර මට්ටමේ MICE ගමනාන්ත සහ ස්ථාන වසර ගණනාවකට පෙර සිට සැලසුම්ගතව සූදානම් වන ආකාරය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, දේශීය හෝටල් සහ ස්ථාන සපයන්නන්ට තම හැකියාව හඳුනාගෙන නිසි සූදානමක් ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී පැහැදිලි කළේය.
MICE ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය ශෆාත් අමීඩ් මහතා සඳහන් කළේ “MICE කර්මාන්තය තුළ අප නිර්මාණය කරන්නේ අරමුණක් සහිත හමුවීම් වන අතර, එම හමුවීම් ප්‍රතිඵල සහිතව අවසන් විය යුතුය” යනුවෙනි.
ඩිජිටල් දත්ත මත පදනම් වූ අලෙවිකරණ සහ සංචාරක තාක්ෂණ විශේෂඥ ගයතී සෙනෙවිරත්න මහත්මිය MICE ගමනාන්ත සහ ස්ථාන සඳහා නවීන ඩිජිටල් ප්‍රවර්ධන ක්‍රමවේද සහ තාක්ෂණික මෙවලම් භාවිතයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමක් කළාය.

