තලවකැලේ ග්‍රේස්වෙස්ටන් තේවලට සිව්වැනි වරටත් පළමු ස්ථානය


 


තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ


තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් තේ වතුයායේ නිෂ්පාදිත බටහිර ඉහළ වර්ධනයක් සහිත වගා කාණ්ඩයේ රොටර්වේන්/ ඔතඩොක්ස් (western High Grown Rotor vane/ Orthodox) නැමති තේ වර්ගය සඳහා අඛණ්ඩව සිව්වැනි වරටත් පළමු ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබේ.

කොළඹ තේ වෙන්දේසියේ දී උඩරට තේ වතුයායක් අඛණ්ඩව මෙසේ වසර හතරක කාලයක් පුරා ගුණාත්මක උසස් තේ නිෂ්පාදනය ප්‍රමිති උදෙසා මෙවැනි ජයග්‍රහණයක් ලැබීම දුර්ලභ අවස්ථාවක් වන අතර, ග්‍රේස්වෙස්ටන් වතුයාය වර්තමානයේ තලවකැලේ වැවිලි සමාගම මගින් පාලනය කරනු ලබයි.

තලවකැලේ ග්‍රේස්වෙස්ටන් තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත තේ වර්ග සඳහා අවස්ථා රැසකදී උසස් තේ නිෂ්පාදන ප්‍රමිති උදෙසා විවිධ සම්මාන රාශියක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, ඒ අතර 2025 වසරේදී ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයේ දී “ග්‍රේස්වෙස්ටන් ඩ්‍රැගන් බෝල්” නැමති තේ විශේෂය සඳහා රන් සම්මානය ලබා ගැනීම මෙරට තේ කර්මාන්තයේ සුවිශේෂිත අවස්ථාවක් විය.

තලවකැලේ වැවිලි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි, අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත අබේසිංහ, අධ්‍යක්ෂ (උඩරට වතු) කෝසල විජේසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී සරත් රණවීර, නියෝජ්‍ය කළමනාකරු ගෙහාන් අබේවර්ධන, සහකාර කළමනාකරු තරිඳු වල්ගම්පාය, තේ කර්මාන්තශාලා විධායක එම්. පරමසිවම්, කර්මාන්ත ශාලා නිලධාරි ඇන්ටන් චාල්ස් යන මහත්වරුන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත ග්‍රේස්වෙස්ටන් තේ කර්මාන්ත ශාලාවේ සේවය නියුතු 30කුගෙන් සමන්විත වූ සේවක මණ්ඩලයේ දැඩි කැපවීම මත මෙම ජයග්‍රහණ ලබා ගැනීමට සමත්ව ඇත.