- කිලිනොච්චිය දිසාවේ භූමි හඳුනාගෙන කුරුඳු වැවීම මේ වනවිටත් ආරම්භ කරලා
- කුරුඳු ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් වෙත GI සහතික ලබාදීමේ ක්‍රියාවලියක්
- කුරුඳු වගාව ප්‍රචලිත වන දිස්ත්‍රික්ක අතර මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කය ප්‍රමුඛයි
- වැඩි අස්වැන්න අපනයනය කිරීමට සාම්ප්‍රදායික රටවල් වෙනුවට අලුත් රටවල්
- කුරුඳු කාර්මික ශිල්පීන් අලුතෙන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
අපේ රටේ දෙපාර්තමේන්තු රැසකි. එක එක විෂයට එක එක දෙපාර්තමේන්තුද මේ අතරය. විෂය කිහිපයක් සඳහා ද දෙපාර්තමේන්තු නැතිවා ද නොවේ. මෙයින් බොහෝ දෙපාර්තමේන්තු ඇත්තේ මහජන සුබසෙත සඳහාය. රටේ දියුණුව වෙනුවෙන්ද දෙපාර්තමේන්තු තිබේ. ප්‍රශ්නය මේ දෙපාර්තමේන්තුවලින් මේ මුඛ්‍ය පරමාර්ථය ඉටුවේද යන්නය. ඒ තරමටම බොහෝ දෙපාර්තමේන්තු පිළිබඳ රටවාසීන්ගේ ඇත්තේ ලොකු කලකිරීමකි.
රටේ තිබෙන දෙපාර්තමේන්තු අතරට අලුත්ම දෙපාර්තම්වෙන්තුවක් පැමිණියේය. ඒ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවය. මේ දෙපාර්තමේන්තුව රටට ලැබුණේ නිකම්ම නිකම් නම් නොවේ. අයවැය යෝජනාවකිනි. එදා රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා අයවැය යෝජනාවක් අනුවය. අයවැය යෝජනාව අනුව සම්මත වූ මේ දෙපාර්තමේන්තුව පිහිටුවාලිය යුතු ප්‍රදේශය පිළිබඳවද එම අයවැය යෝජනාවේම තිබීම විශේෂත්වයකි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටිය යුත්තේ කරන්දෙණියේ බව එදා එම අයවැය යෝජනාව ඉදිරිපත් කළ හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී කීවේය.

එයට හේතු ගණනාවක්ම තිබිණ. එයින් ප්‍රධානම හේතුව ඒ වනවිටත් කරන්දෙණිය කුරුඳුවලට ලංකාවේම ප්‍රසිද්ධම නගරය බවට පත්ව තිබීමය. ඒ වගේම ලංකාවේ පමණක් නොව ලෝකයේම හොඳම කුරුඳු තිබෙනුයේ කරන්දෙණියේ වීමය. එමෙන්ම ගාලු දිසාවේම කුරුඳු වවන ප්‍රදේශවල මැද නගරය කරන්දෙණියේ වීමත් මේ හේතු අතර තවත් හේතුවකි. අපේ කතාව නම් එය නොවේ.
ලංකාවට ආ අලුත්ම දෙපාර්තමේන්තුව වන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කිරීමට යන අලුත්ම වැඩක් ගැනය. එය උඩුගම් බලා පිහිනා යන වැඩක් යයි කීවොත් නිවැරදිය. එහෙත් බුදු දහම අනුව රන් තැටියක් උඩුගම් බලා ගමන් ගත් අයුරු අපි අසා ඇත්තෙමු. එමෙන්ම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලුත් වැඩයද උඩුගම් බලා යාමක් වැන්නය. වැඩක් නොකර නමට පමණක් තිබෙන දෙපාර්තමේන්තුවලට ලොකු ආදර්ශයකි. මේ දෙපාර්තමේන්තුව මෙන් අපේ රටේ ඇති අනෙක් දෙපාර්තමේන්තුද සීමා මායිම් බිඳ උඩුගම් බලා පිහිනුවේ නම් අපේ රටේ ඇත්තන් ණයට කන ජාතියක් නොඅනුමානය.
![]() |
මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වූ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා මෙසේ කීවේය. |
මේ වැඩසටහන යටතේ සාම්පදායික නොවන ප්‍රදේශවලට කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාත තුළ ප්‍රථම වරට විධිමත් පරිදි කුරුඳු වගාව හඳුන්වා දීම සඳහා මූලික වැඩසටහන් රැසක්ම මේ වනවිට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත. මේ වැඩසටහන සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම (DevPro) ව්‍යාපෘතියෙන් සිදු කරන ලදී.
මේ වැඩසටහන උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමේදී ක්ෂේත්‍ර කටයුතු කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡාවක් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සමග වඩ්ඩකච්චි දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. ක්ෂේත්‍ර කටයුතුවලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ලබගැනීමට අපේක්ෂා කරන බැවින් පළමු අදියර යටතේ ඔවුන් සහ දැනට කුරුඳු වගාව සිදුකරන හා ඊට කැමැත්ත දක්වන ගොවීන් පිරිසක් කුරුඳු වගාව, නඩත්තුව හා සැකසීම පිළිබඳව පුහුණු කිරීමට එකඟ කර ගැනීමට මෙහිදී සිදු කෙරිණ. එමෙන්ම උතුරු පළාතේ පොල් වගාව තුළ අතුරු වගාවක් ලෙස කුරුඳු වගාව මුල් අදියරේදී ප්‍රවර්ධනය කිරීමටද එම සාකච්ඡාවේදී බඳුන් වූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි..
එහිදී දැනට කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ කුඩා පරිමාණව කුරුඳු වගාව ආරම්භ කර ඇති බවත් ක්ෂේත්‍ර කිහිපයක්ද තමන් විසින් නිරීක්ෂණය කරන බවත් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

මේ දෙපාර්තමේන්තුවෙන් අපි සම්ප්‍රදායෙන් බැහැරව තීන්දු තීරණ රැසක්ම ගත්තා. එයින් පළමු වැන්න තමයි කුරුඳු වගාව කරන සම්ප්‍රදායික දිසාවලින් බැහැරව වෙනත් දිසාවලද කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම. එයින් විශේෂම දිස්ත්‍රික්කය තමයි කිලිනොච්චිය. අපි දැනට එම දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව ආරම්භ කළා. එහි ප්‍රගතියක් තියෙනවා. ඒ වගේම එතෙක් මෙතෙල් කාලයක් කුරුඳු වගාව ව්‍යාප්ත කරන්න හිතලවත් නැති දිසා කිහිපයක්ම තෝරගෙන එම දිසාවල ද කුරුඳු වැවීමට පියවර ගත්තා.
අපේ බලාපොරොත්තුව සම්පදායික ප්‍රදේශවලින් බැහැරව ලංකාවේ අක්කර දහසක පමණ කුරුඳු අලුතින් වගා කිරීමයි. මේක ලොකු අභියෝගයක්. මේ අභියෝගය අපි කොහොම හරි ජය ගන්නවා. එය සාක්ෂාත් කරමින් අපි මේ වන විට අත්හදා බැලීම් රැසක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා සාර්ථකයි. විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයත් කුරුඳු වගාවට යෝග්‍ය දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන තියෙනවා. අපි ඒ දිස්ත්‍රික්කයටත් මේ වනවිට කුරුඳු වගාව හඳුන්වලා දීල තියෙනවා. ඒ දිස්ත්‍රික්කයෙත් කුරුඳු වගාව සාර්ථකව ව්‍යාප්ත කරන්න පුළුවන්.
ලංකාව 2022 වර්ෂයේදී යුරෝපා සංගමය තුළ සිය පළමු හා දැනට ඇති එකම භූගෝලීය දර්ශක සහතිකය (GI cerificate) ලංකා කුරුඳු වෙනුවෙන් ලබාගත්තා. ලංකාවේ කුරුඳු අප රටේ ඉතිහාසය, සංස්කෘතිය මෙන්ම ආර්ථිකය හා බද්ධ වී ඇති අප රටටම ආවේණික සුවිශේෂී අපනයන බෝගයකි. GI සහතිකකරණ ක්‍රියාවලිය සඳහා පුරෝගාමිත්වය ගැනීම සඳහා ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳව ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමයක් පිහිටුවීමට පියවර ගත්තා. ඊට අනුබද්ධිතව දිස්ත්‍රික් සංගම් 9ක් මේ වනවිට පිහිටුවා තිබෙනවා. ඒ හරහා කුරුඳු ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් වෙත GI සහතික ලබාදීමේ ක්‍රියාවලියක් ද මීට සමගාමීව අපේ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.
GI සහතික කරණ ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් ලියාපදිංචිය හා අභ්‍යන්තර විගණනය දිස්ත්‍රික් භූගෝලීය දර්ශක සංගම් විසින් සිදුකරනවා. පාර්ශවකරුවන් දැනුවත් කිරීම, GI ලබාගැනීම සඳහා ඔවුන් සංවිධානය කිරීම හා බාහිර විගණනය යන අංශ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනවා. මේ සමස්ත ක්‍රියාවලියේ සම්බන්ධීකරණය හා සහතිකය නිකුත් කිරීම අපනයන සංවර්ධන මණ්ඩලය හරහා සිදු කෙරෙනවා.
GI සහතිකය යනු කුමක්ද? එහි වැදගත්කම, GI සහතිකකරණ ක්‍රියාවලිය, වෙළෙඳපොළ ප්‍රවර්ධනය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මොනරාගල දිස්ත්‍රික්කයේ කුරුඳු වගාකරුවන්, තවාන් ශිල්පීන්, කුරුඳු සැකසුම්කරුවන්, ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදනකරුවන් ඇතුළු පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි පැවැත්තුවා. මේ නවමු වැඩසටහන අපි මොනරාගල දිසාව කේන්ද්‍ර කර ගනිමින් තමයි පැවැත්තුවේ.
සාම්ප්‍රදායික නොවන කුරුඳු වගාකිරීමේ දිස්ත්‍රික්ක අතරින් වේගයෙන්ම කුරුඳු වගාව ප්‍රචලිත වන දිස්ත්‍රික්ක අතර මොනරාගල ඉදිරියෙන්ම සිටී.
මේ ආකාරයටම මොනරාගල, චාවකච්චේරිය වැනි ප්‍රදේශවල මෙන් මහවැලි කලාපයේ මෙන්ම අධික උෂ්ණත්වයක් ඇති හම්බන්තොට වැනි ප්‍රදේශවලද කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල වැවීමට යෝග්‍ය ඒ ඒ ප්‍රදේශවල කාලගුණයට දේශගුණයට යෝග්‍ය වන කුරුඳු පැළ තමයි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන්නේ.
අපේ ඉල්ලක්කයට යන්න සාම්පදායික ප්‍රදේශවල වැවෙන කුරුඳු අස්වැන්නෙන් විතරක් බැහැ. ඒ සඳහා අලුත් ප්‍රදේශ ආදේශ කළ යුතුම වෙනවා. ඒ නිසයි අපි කවදාවත්ම කුරුඳු වවා නැති ප්‍රදේශ කුරුඳු වැවීමට අත්හදා බැලුවේ. එය සාර්ථක වෙමින් තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වන බවට අපි තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. එසේ වුවහොත් අපේ කුරුඳු අස්වැන්න වැඩි වෙනවා. මේ වැඩි අස්වැන්න අපනයනය කිරීම සඳහා සම්ප්‍රදායික රටවල් වෙනුවට අලුත් රටවල් කිහිපයක්ම අපි තෝරාගෙන තියෙනවා.
මේ ක්‍රියාදාමය නිසි ලෙස කළමනාකරණය කළහොත් ඉදිරි වසර දෙක තුන තුළදී ලංකාවේ කුරුඳු වලින් විතරක් ලංකාවේ ආර්ථිකයට දැනෙන වැඩක් කරන්න පුළුවන්. ඒ සඳහා අපේ දෙපාර්තමේන්තුව අවධියෙනුයි සිටින්නේ.
මේ සඳහා අලුත් කුරුඳු කාර්මික ශිල්පීන්ද පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ද දියත්කොට තියෙනවා. පිරිමි ශ්‍රමිකයන්ට අමතරව කාන්තාවන්ද කුරුඳු කර්මාන්තයට ඈඳාගැනීමේ වැඩපිළිවෙළක්ද සූදානම් කර තිබේ. විශේෂයෙන්ම අපි කාන්තාවන් තෝරාගෙන ඔවුනට කුරුඳු කර්මාන්තයේ ඇති සියලුම දේ ගැන පුහුණුවීම් ලබාදීලා තියෙනවා. මෙය රටවටාම ක්‍රියාත්මක කරනවා.


