

මෙරට ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කරන අතර, ඖෂධ ආනයනය මත යැපීම අවම කරගැනීම අපේක්ෂාවක්
හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර හතරකට ආසන්න භූමි ප්‍රමාණයක මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදි කිරීමට නියමිතයි
නවෝත්පාදන ඔස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෝලීය සමාගමක් වන Zydus Lifesciences සහ Sunshine Healthcare යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences පුද්. සමාගම නමින් නව සමාගමක් ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ඇ.ඩො.මි. 20 කට අධික මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. මෙමගින් මෙරට ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් වන අතර, ඖෂධ ආනයනය මත යැපීම අවම කර ගැනීමට ද විශාල පිටිවහලක් ලැබෙනු ඇත.
හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර හතරකට ආසන්න භූමි ප්‍රමාණයක මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදි කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කරමින් මුල්ගල් තැබීමේ උත්සවය ඉකුත්දා පැවැත්විණි. මෙම කර්මාන්තශාලාවෙන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගික ඖෂධ වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදන කිරීමට අරමුණු කරයි. එමගින් මෙරට ජනතාවට උසස් තත්වයේ ඖෂධ පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන අතරම, ජාතික ඖෂධ සැපයුම් දාමය වඩාත් ශක්තිමත් කිරීමට ද ඉන් විශාල දායකත්වයක් ලැබෙනු ඇත.
මෙම සහයෝගීතාව හරහා ඖෂධ නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත තාක්ෂණික දැනුම පිළිබඳ Zydus’ සතු ජාත්‍යන්තර අත්දැකීම් ද, ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳපොළ හා බෙදාහැරීමේ ජාලය පිළිබඳ Sunshine සතු ශක්තිමත් දේශීය දායකත්වය ද එකට එක් කරයි. තවද මෙමගින් මෙරටට නව තාක්ෂණය හඳුන්වා දීම, දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම ද සිදුකෙරෙන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන දියුණුවට ද ඉවහල් වනු ඇත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල දේශීය නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන මෙවැනි තීරණාත්මක කාල වකවානුවක මෙම ව්‍යාපෘතිය ආරම්භ වීම ඉතා වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව මෙලෙස ශක්තිමත් කිරීම තුළින් ඖෂධ සැපයුමේ සුරක්ෂිතතාව තහවුරු වන අතර, ආනයන මත යැපීම අවම වී වඩාත් සහනදායී මිලකට, අඛණ්ඩව ඖෂධ ලබාගැනීමේ අවස්ථාව ද මෙරට ජනතාවට හිමි වේ.
Zydus Lifesciences Ltd යනු විවිධ ඖෂධ සංයෝග, APIs, වෛද්‍ය තාක්ෂණය, රෝග විනිශ්චය සේවා, සත්ව සෞඛ්‍ය සේවා මෙන්ම පාරිභෝගික සුවතාව වැනි පුළුල් පරාසයක විහිදුණු ඉහළ අත්දැකීම් සහිත සමාගමකි. මෙම නව කර්මාන්තශාලාව මෙරට තුළ සාර්ථකව ස්ථාපිත කිරීමට සහ එහි කටයුතු තවදුරටත් පුළුල් කිරීමට Zydus Lifesciences සතු ජාත්‍යන්තර සුව සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ විශිෂ්ට නිෂ්පාදන ප්‍රමිති බෙහෙවින් උපකාරී වනු ඇත.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරනු ඇත.
මෙහි නිෂ්පාදනය කෙරෙන සියලුම ඖෂධ වර්ග NMRA හි රෙගුලාසිවලට සහ මිල පාලන රාමුවලට අනුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගැනේ.

