ඩිජිටල් ගෙවීම් ව්‍යාප්ත කිරීමට කොමර්ෂල් බැංකුව සහ අබාන්ස් අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්


කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සහ අබාන්ස් සමූහයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ඩුබාෂ් මහත්මිය සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම් හුවමාරු කර ගත් අවස්ථාව. 


මෙරට බැංකු සහ සිල්ලර වෙළෙඳුන් අතර ශක්තිමත් සහයෝගීතා ගොඩනගමින් ව්‍යාපාරික මට්ටමේ අවශ්‍යතා ඉටුකරදීමේ හැකියාව පෙන්වා දෙමින් කොමර්ෂල් බැංකුව, අබාන්ස් පීඑල්සී සමාගමේ දේශීය අලෙවිසල් ජාලයට POS සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම විසඳුමක් ආරම්භ කිරීමට නියමිතය. 
මෙම විසඳුම මගින් අබාන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම් සහිත සමාගමක් වනු ඇත. මෙයින් දිවයින පුරා අලෙවිසල් 400කට අධික ජාලයක් ඇති අබාන්ස් හි අලෙවිසල් සියල්ල, ඕනෑම ජාත්‍යන්තර සහ දේශීය ප්‍රධාන ගෙවීම් කාඩ්පත් මෙන් ම QR ගෙවීම් ක්‍රමයක් වුව ද පිළිගත හැකි පරිදි සන්නද්ධ කරනු ඇත. 
නවීන සිල්ලර වෙළෙඳාමට අවශ්‍ය මූල්‍ය ආරක්ෂාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ලබාදෙන මෙම නව විසඳුම, සමාගමේ ව්‍යපාර සම්පත් සැලසුම්කරණ (ERP) සහ සැපයුම් දාම කළමනාකරණ (SCM) පද්ධති සමග බාධාවකින් තොරව ඒකාබද්ධ  වනු ඇත.
අබාන්ස් සඳහා වන කොමර්ෂල් බැංකුවේ මෙම ඩිජිටල් පද්ධතියට වීසා, මාස්ටර්කාඩ්, යුනියන් පේ, ජේසීබී, ලංකා පේ, සහ ලංකා QR ද ඇතුළත් වන අතර, ජාත්‍යන්තර QR ගෙවීම් ක්‍රම වන WeChat Pay, Alipay, UnionPay  සහ වීසා QR මෙන් ම මාස්ටර්කාඩ් QR වැනි ක්‍රම ද පිළිගනු ඇත. එය බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ද්වාරය (IPG) ද ඇතුළත් තනි රාමුවක් යටතේ ඒකාබද්ධ වේ. 
මෙම බහුවිධ ක්‍රම හැකියාව මගින් ගනුදෙනුකරුවකු අලෙවිසල තුළදී හෝ, මාර්ගගතව හෝ ජංගම දුරකථනය හරහා හෝ ගෙවීම් කළ ද, එම ගනුදෙනු සැකසෙන්නේ ඒකාබද්ධ වූ එක් පද්ධතියක් හරහා යි. 
මෙම විසඳුම මගින් කාඩ්පත් හා QR ගෙවීම් සඳහා සහය වනවා පමණක් නොව, වෙළෙන්දන්ට සහ ගනුදෙනුකරුවන්ට පහසු ගෙවීම් සැලසුම් (EPP) සඳහා පහසුකම් සැලසීමට ද හැකියාව ඇත.
මෙසේ යෙදවීමට නියමිත POS යන්ත්‍ර 2,500 ම, බහු ක්‍රියාකාරී සහ EMV සහතික කළ ඒකක වන අතර ස්පර්ශ රහිත, චිප් සහ චුම්භක තීරු කාඩ්පත් මෙන් ම QR පිළිගැනීමට ද සහාය වේ. 
කොමර්ෂල් බැංකුවේ මෙවන් විසඳුම් ගෙවීම් කාඩ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිති (PCI DSS) සමග සම්පූර්ණයෙන් ම අනුකූල වේ. අඛණ්ඩ තත්‍ය කාලීන අධීක්ෂණය, අවදානම් සලකුණු කිරීම සහ විෂමතා අනතුරු ඇඟවීම් වංචාවට එරෙහිව ආරක්ෂාව සපයයි. හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමට කැපවූ කණ්ඩායමක් යොදවා ඇති අතර එමගින් සේවා මට්ටමේ ගිවිසුම්වලට අනුකූලව වේගවත් විසඳුම් ලබා දීම සහතික කරයි.
“මෙම හවුල්කාරීත්වය අපගේ තාක්ෂණික නායකත්වයේ තවත් ප්‍රදර්ශනයක්,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය, එස්. ගනේෂන් මහතා පැවසීය. “මෙම පරිමාණයේ ඒකාබද්ධ POS සහ ඩිජිටල් ගෙවීම් විසඳුමක් ලබා දීමෙන්, අපි අබාන්ස් සමාගමට ඉහළම මට්ටමේ ආරක්ෂාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම්වලට ඔරොත්තු දීමේ හැකියාව සමගින් ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දෙනවා. නවීන සිල්ලර වෙළෙඳාමේ අවශ්‍යතාවලට ගැළපෙන සහ මෙරට ඩිජිටල් අනාගතය සමග පෙළගැසෙන සංකීර්ණ ගෙවීම් පරිසර පද්ධති නිර්මාණය කිරීමට කොමර්ෂල් බැංකුවට හැකි බවට එය සාක්ෂියක්.”
අබාන්ස් සමූහයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ඩුබාෂ් මහත්මිය මෙසේ පැවසුවාය. “සෑම විටම අපගේ ප්‍රමුඛතාව වන්නේ නවෝත්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීයභාවය ඒකාබද්ධ කිරීමයි. මෙම ගෙවීම් පද්ධතිය හරහා අපගේ ගනුදෙනුකරුවන්ට වේගවත්, ආරක්ෂිත සහ වඩාත් නම්‍යශීලී ගෙවීම් විසඳුම් ලබා දෙන අතර ම අපගේ අභ්‍යන්තර ක්‍රියා නිරවද්‍යතාවෙන් හා කාර්යක්ෂමතාවෙන් පවත්වාගෙන යාම සහතික කරයි. 
කොමර්ෂල් බැංකුව සමග හවුල් වීම ඩිජිටල් සිල්ලර වෙළෙඳාමේ තීරණාත්මක පියවරක් තැබීමට අපට ඉඩකඩ සලසන අතර මුදල් රහිත ආර්ථිකයක් කරා යන ජාතික මෙහෙයුමට අප දක්වන දායකත්වය ද ශක්තිමත් කරයි.”