ට්‍රම්ප් බද්ද : ලංකාවේ අපනයන මරා දැමීම


 

 

 

 තීරු බදුවලින් ඇමරිකාව 
 නැවත විශිෂ්ටත්වයට පත් 
 කිරීමේ ට්‍රම්ප්ගේ උත්සාහය 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ වෙළෙඳ හවුල් කරුවන්ට කුඩා හෝ ලොකු බව නොසලකා ඒකපාර්ශවිකව පැනවූ තීරුබදු සංශෝධන සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් සිදුවූ වැදගත් වෙනස්කම් මගේ මතය අනුව නොබෝදා විචාරයට ලක් කළෙමි. එවැන්නක් අපේක්ෂාවෙන් නොසිටි ගෝලීය ප්‍රජාව වෙත මොහොතකින් ජීවිත හා දේපළ විනාශ කර දැමූ සුනාමියක් මෙන් එයින් ප්‍රහාර එල්ල වූයේය.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව ඔහුගේ ප්‍රතිපත්තිය නිදහස් වෙළෙඳාම ගෝලීයකරණය හා නිදහස් ප්‍රාග්ධන සංචලනය මත පදනම් වූ අලුත් පිළිවෙළේ ලෝකයක් නිර්මාණය වීමට මගපාදා ගැනීමකි. එසේ වුවද ට්‍රම්ප් පාලනය විසින් ප්‍රවර්ධනය කරනු ලැබූ නව තීරු බදු හා ආර්ථික ප්‍රතිපත්තිය විස්තර කිරීමට මම ට්‍රම්ප් (අ) පිළිවෙළ යන පදය හඳුන්වා දුනිමි.

ඔහුගේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් සිය රෝගී ආර්ථිය මුදාගැනීමේ අපේක්ෂාවෙන් සහයෝගය පැතූ සාමාජික රටවලට දෙනු ලැබූ පිළියම් වට්ටෝරුවට හාත්පසින් වෙනස් වූවකි. එකී ප්‍රතිපත්ති පැකේජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග එක්සත් ජනපදය ඒකාබද්ධ වී අනුමත කළ ප්‍රතිපත්තියකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරදී මෙම ආයතන තුනේම එකඟතාවෙන් අනුමත කළ ප්‍රතිපත්තියක් නිසා එය වොෂිංටන් සම්මුතිය යනුවෙන් හැඳින්විණි. එම විශේෂිත ආර්ථික දර්ශනය හා ප්‍රතිපත්තිමය පිළියම් වට්ටෝරු ට්‍රම්ප් ඉවත විසිකර දමා තිබේ. එම ප්‍රතිපත්තිමය පිළියම් වොෂිංටන් සම්මුතියේ දස පනත ලෙස හඳුන්වනු ලැබීය. ලාබ ශ්‍රමය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාදාම සොයා යමින් ඇමෙරිකානු කොම්පැනි  දුප්පත් රටවලට නිදහසේ සංචරණය වන තත්ත්වයක් තුළ ගෙන එනු ලැබූ එම ප්‍රතිපත්ති ඇමරිකානුවන්ගේ රැකියා කොල්ලකෑමේ නිමග්න වීමක් ලෙස අර්ථකථනය කර තිබිණි.

එම නිසා එම කොම්පැනි නැවත ඇමෙරිකාව වෙත ගෙන ඒමට ට්‍රම්ප්ට අවශ්‍ය විය. එසේ කිරීමට බල කළ ට්‍රම්ප් ඔවුන්ගේ නිර්යාතවලට ඉහළ තීරුබදු පනවමින් මෙතෙක් කල් ඇමෙරිකාව සම්මාදම් වූ නිදහස්  වෙළෙඳ ප්‍රතිපත්තියෙන් ඉවත්ව ගියේය. ඇමෙරිකානු ඡන්දදායකයා වෙත ඔහුගේ ප්‍රතිඥාව වූයේ ඇමෙරිකාව නැවත විශිෂ්ටත්වයට පත් කිරීමේ අවශ්‍යතාවයයි. Make America Great Again යනුවෙන් ඉංග්‍රීසි බසින් නම් කරන ප්‍රතිපත්තිය MAGA යනුවෙන් කෙටියෙන් හැඳින්විණි. එහිදී ඔහු අමතක කළ දේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය, ඒ ආකාරයට ප්‍රාග්ධනය නිදහසේ දෑතට ගලා යාමට ඉඩ හැරීමෙන් ඇමෙරිකා එක්සත්ජ ජනපදයට වාසි අත් වූයේය යන්නය

 විශාලතම ඍජු විදේශ 
 ආයෝජන ලබාගන්නා වූ 
 ඇමෙරිකා එක්සත් ජනපදය 

එම නිසා මම පහත ආකාරයෙන් තර්ක කළෙමි.

2024 සැප්තැම්බරයේ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවෙන් ප්‍රසිද්ධ කළ දත්තවලට අනුව විශාලතම ඍජු විදේශ ආයෝජනලාභියා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයය. 2023 වන විට එහි සමුච්චිත ඍජු විදේශ ආයෝජන ලැබීම්  ඓතිහාසික පිරිවැයට අනුව ඩොලර් ට්‍රිලියන 5.5ක් විය එහි. වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 13.5ක් වූයේය. ඓතිහාසික පිරිවැය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 20 දක්වා වැඩි වී තිබිණි. ඊට හාත්පසින් වෙනස්ව යමින් 2023 දක්වා පිටතට ගලාගිය ඍජු විදේශ ආයෝජනවල ඓතිහාසික  පිරිවැය ඩොලර් ට්‍රිලියන 6.9 ක් නැතහොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 25 ක් විය. මෙයින් අදහස් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ඍජු විදේශ ආයෝජන ප්‍රවාහයන්ගේ විශාලතම සැපයුම්කරුවා මෙන්ම ඊට සහතික වෙන්නා (ඇප වන්නා) ද වන්නේය යන්නයි.

2022-23 කාලය තුළ රට තුළට ගලා ආ ඍජු විදේශ ආයෝජන ප්‍රවාහයන්ගේ සාමාන්‍ය අනුපාතය සියයට 5ක් පමණ වූ අතර පිටතට ගලාගිය ඍජු විදේශ ආයෝජන ඊට මඳක් වැඩි වූ සියයට 8 ක අනුපාතයකි. මේවා ඉතා ආකර්ෂණීය ප්‍රතිලාභ අනුපාත වන්නේ අවදානමෙන් තොර වසර 10ක ඇ.ඒ. ජනපද භාණ්ඩාගාර අනුපාතයක් මෙම කාලපරිච්ඡේදය තුළ සියයට 3.83 සිට සියයට 3.48ක පරාසය තුළ පැවති නිසාය. එමනිසා එ. ජනපද ආණ්ඩුවට ඍජු විදේශ ආයෝජන ක්‍රියාකාරකම්වලින් අසාධාරණ සැලකුම්වලට භාජන වූ බව කියා සිටිය නොහැකිය.

සාමාන්‍යයෙන් සියයට 1.7 හා සියයට 1.5ක ඉතා පහළ මට්ටමේ තීරුබදු අනුපාතයක් පවත්වා ගනිමින් ගෝලීය නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කරනු ලැබූ රටද එක්සත් ජනපදයයි. කෝවිඩ් වසංගතය පැවති කාලය ඊට වෙනස් වූ අතර 2019 දී එම තීරුබදු අනුපාතය සියට 13.8 දක්වා ඉහළ නැග තිබිණි. එක්සත් ජනපද ආර්ථිකයද 2024 දී ඩොලර් ට්‍රිලියන 1.2ක තරම් දැවැන්ත වෙළෙඳ හිඟයක් පවත්වා ගනිමින් ගෝලීය  ද්‍රවශීලතාව නිදහසේ සැපයුම් කරන්නා බවට පත්ව තිබිණි. වෙළෙඳ හිඟයේ කිනම් හෝ පහත වැටීමක් වී නම් එය ලෝකයේ නිල නොලත් මහ බැංකුකරුවා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය වර්තමානයේ ඉටුකරන කාර්ය භාරයෙන් ඉවත්ව යමින් ගෝලීය ද්‍රවශීලතාව සැපයුමට එරෙහිව  සිදු කරන්නක් වනු ඇත. එයින් ඩොලරයට හිමි තැන ගන්නට තරග වදින අනෙකුත් තරගකාරී මුදල් ඒකක ද ප්‍රවර්ධනය කරනු ලබන්නේය.

 වෙළෙඳ ශේෂ පිළිබඳ 
 වැරදි සංකල්පනය 

ට්‍රම්ප්ගේ (අ) පිළිවෙළ පදනම් වී තිබුණේ, අනෙක් රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පත්වා ගෙන යන වෙළෙඳ අතිරික්තය එම රටවල ජනතාව, ඇමෙරිකානුවන්ගෙන් කොල්ලකෑමක් කරන්නේය යන සංකල්පය මතය. එම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවල් මත නව තීරු බදු පනවා ඇත්තේ එම මුදල් නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එම නිසා එය එකටෙක කිරීමේ අරමුණෙන් කරන යෝජනාවකි. අනෙක් රටවල්ද එවැනිම ප්‍රතිපත්තියකින්, එකටෙක කරමින් ප්‍රතිචාර දැක්වුවහොත්, ඒ හේතුවෙන් අහිතකර ගෝලීය වෙළෙඳ යුද්ධයකට එයින් මග පෑදෙනුයේ ගෝලීය ආර්ථික වර්ධනයද කපා හෙළමිනි. ලෝකයේ බලවත් ජාතීන් ගන්නා යහපත් පියවර මත මුළුමනින් රඳාපවතින ශ්‍රී ලංකාව වැනි රටකට එකටෙක කිරීමේ තීරුබදු ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැනවීමේ හැකියාවක් නොමැත. එම නිසා 2025 සැප්තැම්බර් දක්වා ඉවසා හිඳ ඇමරිකානු පාලනය සමග සහනය පතා සාකච්ඡා ඇරඹිය යුතු බවට මින් පෙර ලිපි පෙළෙන් මම තර්ක කළෙමි.
මේ අතරතුර සියලුම රටවල් උදෙසා අනුපූරක බදු ට්‍රම්ප් නිවේදනය කළේය. 2025 අප්‍රේල් 2 වැනිදා එම නිවේදනය කරමින් ඇමරිකානුවන්ගෙන් කොල්ල කෑමේ සෙල්ලමේ චූදිතයන් ලෙස අනෙක් සියලු රටවල් ඔහු නම් කළේ එදින ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය ලෙස කියා පාමිනි. එහිදී ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමග පවත්වාගෙන ගිය විශාලතම වෙළෙඳ අතිරික්තය පදනම් කොට සියයට 44 ක තීරු බද්දක් හෙතෙම පැන වූයේ ඊට ප්‍රතිකර්ම ලෙස සිමීත විකල්ප සංඛ්‍යාවක් පමණක් ඉතිරි කොට දරුණු ප්‍රහාරයට ලක් කරමිනි.

 ශ්‍රී ලංකාවේ අපනයන 

ශ්‍රී ලංකාව මූලික වශයෙන් ඩොලර් බිලියන 2ක් පමණ වටිනා ඇඟලුම් ද ඩොලර් මිලියන 300ක් පමණ වටිනා රබර් නිෂ්පාදන සහ වෙනත් අනෙකුත් නිෂ්පාදන වර්ග 85 ක් ද ඇමෙරිකා එක්සත් ජනපදය වෙත වාර්ෂිකව අපනයනය කර තිබේ. මෙසේ ආනයන වලට වඩා ඉහළින් සිදු කරන අපනයන නිසා ට්‍රම්ප් කියන අයුරු ශ්‍රී ලංකාව ඇමෙරිකානුවන් ගෙන් කොල්ලකමින් හා මංපහරමින් සිටී. තනි තනි සේවකයන්ට මෙය අදාළ කළහොත් මෙකී කොල්ලකරුවන් හා මංපහරන්නන් වන්නේ ශ්‍රී ලංකාවේ ඉතා අඩු වැටුප් ලබන ඇඟලුම් සේවකයන්, වතු කම්කරුවන් හා කම්හල් සේවකයන්ය. ඔවුන් විසින් නිපදවනු ලබන අඩු මිලැති නිෂ්පාදන සාපේක්ෂව ධනවත් වූ ඇමෙරිකානු පාරිභෝගිකයන් භුක්ති විඳින නිසා සදාචාරයට අනුකූලව කතා කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ අඩු වැටුප් ගන්නා කම්කරුවන් සූරාකනු ලැබුවේ එක්සත් ජනපද පාරිභෝගිකයන් විසිනි.

එහෙත් වෙළෙඳාම හටගන්නේ තනි තනි පුද්ගල හා සමාගම් අතර විනා රටවල් අතර නොවේ. ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන් එකී අපනයන භාණ්ඩ වර්ග 85ක් පවතින තරගකාරී මිල ගණන්වලට සැපයුම් කිරීමට සමත් වන අතර අමෙරිකානු පාරිභෝගිකයන් එම මිල ගණන්වලට මිලදී  ගන්නට කැමැති වෙයි. එය අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ පෞද්ගලික හුවමාරුවක් මිස කොල්ල කෑමක්  ලෙස හෝ මංපැහැරීමක් ලෙස නම් කිරීමට සුදුසු ක්‍රියාවක් නොවේ. එම නිසා කොල්ලකෑම හා  මං පැහැරීම පිළිබඳ  ට්‍රම්ප්ගේ තර්කය වෙළෙඳ පිළිවෙත්වලට ගැලපෙන්නක් නොවේ. අලුත් තීරුබදු ව්‍යුහ  නිවේදනය කරමින් ට්‍රම්ප් තෙපලන හැම වදනකමට සාමාන්‍ය ඇමරිකානුවන් ඔල්වර නැගුවද එම කතාව ගනුදෙනුවලට අදාළ වන්නේ නැත. 

මෙම ලිපි  පෙලේ මා තර්ක කළ ආකාරයට ට්‍රම්ප්ගේ තීරුබදු  ප්‍රතිපත්තිය සම්බන්ධ ගැටලු දෙකක් මට ඇත. එකක් නම් බොහෝ වෙළෙද හවුල්කරුවන් සමග ඇමෙරිකා එක්සත් ජනපදය පවත්වා ගන්නා වෙළෙඳ  හිඟය සම්බන්ධ ඔහුගේ වැරදි අර්ථ දැක්වීමට අදාළ වූවකි. අනෙක ඇමෙරිකානු රටවැසියන් වෙතින් ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ  අතිරික්තයක්  පවත්වාගනු ලබන රටවල් කොල්ල කන්නේය කියනු ලබන ප්‍රමාණයේ තීව්‍රතාව ගණනය කිරීමට භාවිතා කළ අදාළ නොවන නොමග යවන සුළු සූත්‍රය සම්බන්ධයෙනි. 

 වෙළෙඳ හිඟය වැරදියට 
 කියවා ගැනීම 

බොහෝ රටවල් ඇමෙරිකා එක්සත් ජනපදය සමග පවත්වාගෙන යන වෙළෙඳ අතිරික්කය එම රටවල් ඉහළ තීරුබදු අනුපාත හරහා එක්සත් ජනපද වැසියන්  කොතෙක්දුරට කොල්ලකනු ලබන්නේද යන්න දක්වන දර්ශකයක් බව ට්‍රම්ප් කියා සිටියේය. මා මීට පෙර පෙන්වා දුන් ආකාරයට ඇමෙරිකා එක්සත් ජනපදය 1971 පටන් ලෝකයේ නිල නොවන මධ්‍යම බැංකුව ලෙස කටයුතු කරන බැවින් සෙසු ලෝකයේ සැබෑ භාණ්ඩ ඩොලරය යනුවෙන් හඳුන්වන නොවටිනා කඩදායි කැබැල්ලකට හුවමාරු කිරීමේ බලය ඊට හිමිව තිබේ. එම ඩොලරය නැවත ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙන ආ විට එය දරන්නාට එම ඩොලරයේ වටිනාකමට භාණ්ඩ හා සේවා ලබාදිය හැකි බවට එයින් පොරොන්දු වෙයි. ලෝකය පුරා සංචිත නැතහොත් හුවමාරු මුදල් ලෙස එය සංසරණය වන්නේ නම් එය දරන්නාට ඩොලරයක් වටිනා සැබෑ භාණ්ඩ හා සේවා එම ඩොලරයට සෙසු ලෝකයෙන් ඉල්ලා සිටීමට හිමිකමක් ඇත. 

 ඩොලරයේ අගය පහත වැටීම 

එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශීය උද්ධමනය හේතුකොට ගෙන ඩොලරයේ අගය පහත වැටුණහොත් එක් අතෙකින්ද ඇමරිකානු රජයේ ඩොලර් නිකුතුව සම්බන්ධයෙන් විශ්වාසය නොමැතිවීම හේතුකොට ඩොලරයේ අගය ජාත්‍යන්තර වශයෙන් පහත වැටුණ විට තවත් අතෙකින්ද ඉහත කී පොරොන්දු දෙක කඩුවුණු පොරොන්දු බවට පත්වේ. 

1982 - 84 කාලයේ 100යේ පැවැති එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකය 2025 මැයි මාසය වනවිට 321 දක්වා ඉහළ නැග තිබිණි. එයින් අදහස් වන්නේ 1982 පැවැති ඩොලරයේ දැන් වටින්නේ එක්සත් ජනපද ශත .31ක් පමණක්ය යන්නය. ඩොලරයේ වත්කමට සාපේක්ෂව හොඳම විකල්පය රත්‍රන් බැවින්  ඩොලරයේ ජාත්‍යන්තර වටිනාකම මිනිය යුත්තේ රත්‍රන් මිලෙහි අගයෙනි. 

1982 දී රත්‍රන් අවුන්සයක අලෙවි මිල ලෝක වෙළෙඳපොලේ  ඩොලර් 376ක් ව තිබිණි. එම රත්‍රන් ප්‍රමාණයේම මිල තියුණු ලෙස ඉහළයමින් 2025 මැයි වනවිට ඩොලර් 3324 දක්වා වැඩි වූයේය. එයින් ඇඟවෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ 1982 ඩොලරයේ පැවති වටිනාකම දැන් එක්සත් ජනපද ශත .11 දක්වා පහත වැටී තිබෙන බවයි.

එම නිසා 1982 දී  ඩොලරයක් අත් කරගෙන සිටි තැනැත්තා ඩොලරයේ සැබෑ භාණ්ඩ හා සේවා වටිනාකම කැප කරමින් අද දවසේ වටිනාකම පිරිහී ගිය නොවටිනා කඩදායි කැබැල්ලක් අත දරා සිටින්නේය. එම නිසා අනෙක් රටවල් සමග වෙළෙඳ හිඟයක් තබාගෙන සිටිනා නිසා එම රටවල වැසියන්ගෙන් අසාධාරණ වාසියක් ලබාගෙන සිටින්නේ එක්සත් ජනපද වැසියන්ය. එම නිසා ඇමරිකාව කළ යුත්තේ ඩොලර් අතදරා ඉන්නා අයට වන්දියක් ගෙවීම විනා ඔවුන්ට දඬුවම් දීම නොවේ. 

 අදාළ නොවන නොගැළපෙන 
 සූත්‍රයක් භාවිත කිරීම 

 ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් කොල්ල කන්නේය කියනු ලබන ප්‍රමාණය කෙතෙක් දුරට කොල්ල  කන්නේද යන්න ගණනය කිරීමට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිත කර ඇත්තේ එම අරමුණට නොගැළපෙන සූත්‍රයකි. එයින් සරළව කියවෙන්නේ එසේ කොල්ලකනු ලබන ප්‍රමාණයේ ප්‍රතිශතය එම රටවල් සමග අමරිකාව පවත්වාගෙන යන වෙළෙඳ  හිඟයට ඇමරිකාව එම රටවලින් ආනයනය කර ඇති ප්‍රමාණයට සමානුපාත බවයි. ඉල්ලුම් කරන කාලයේ ඇමරිකානු වෙළෙඳපොළේ මිල ගැලපුම 1 ලෙස ගෙන ආනයනය නම්‍යතාව උපකල්පනය කර තිබේ. මෙම ප්‍රතිඵලය කරා පැමිණීමට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිතා කොට ඇත්තේ පොදු ආනයනය නම්‍යතාව 4 ලෙස ගෙන සහ මිල ගැළපුම් සාධකය 0.25 වශයෙන් ගනිමිනි. මේවා එකිනෙක නොගැළපෙන අංකයන්ය. එසේ වන්නේ එකම සංඛ්‍යා ඇඟලුම් වැනි පාරිභෝගික අයිතම හා චිප්ස් හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩත් යුද උපකරණ හෝ ගුවන් යානා සංරචකයන් වැනි දේටත් එක ලෙස භාවිතා කර ඇති බැවිනි. 

ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ හිඟයක් පවත්වා ගන්නා රටවලට මෙම සූත්‍රය යොදාගත් කල එසැනින්ම මෙම සූත්‍රය අසාර්ථක වන්නේ ස්වභාවිකමය වෙළෙඳ  හිඟය සෘණ සංඛ්‍යාවක් නිසා එය සෘණ අගයක් සහිත ආනයන නම්‍යතාවයෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලය ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගන්නා රටවලට ධන සංඛ්‍යාවක් වීම නිසාය. ට්‍රම්ප් පරිපාලනයෙන් දඬුවම් ලබාදී ඇත්තේ එම රටවලටය. 

කෙසේ වුවද ඇමෙරිකා එක්සත් ජනපදය වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගන්නා එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව හෝ නෙදර්ලන්තය වැනි රටවලට එම සූත්‍රය යොදා ගත් විට ලැබෙන ප්‍රතිඵලය සෘණ අගයකි. එහි අරුත ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවලින් ගෙන ඇති ප්‍රමාණයට එම රටවලට වන්දි ලබාදිය යුතු බවයි. 

 සූත්‍රයේ සම කතුවරයාගේ 
 මතභේදය 

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිත කර ඇති සුත්‍රය සම්බන්ධයෙන් එහි සම කර්තෘ චිකාගෝ සරසවියේ හා  බූත් ව්‍යාපාර  විද්‍යායතනයේ මහාචාර්ය බ්‍රෙන්ට් නෙයිමාන්, සී. එන්. එන් (CNN) සේවාවේ එරින් බර්නට් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මත භේදයක් ඉදිරිපත් කර තිබේ. නෙයිමාන් කියා සිටින්නේ ප්‍රතිපත්ති උපදේශකයන් එම සූත්‍රයේ අරමුණ සහ අර්ථය සූත්‍රයේ සන්දර්භය වෙතින් ඉවත ගෙන ඇති බවකි. 

මෙම සූත්‍රයේ අරමුණ වන්නේ රටවල් දෙකක් අතර තීරු බදු අනුපාත සියයට තුනක් හෝ හතරක් තරමින් වෙනස් වූ විට එම පරස්පරය තුලිත කර ගැනීම සඳහා නිසි තීරුබදු  අනුපාතයක් තීරණය කර ගැනීම උදෙසා එය භාවිතා කිරීමයි. එය රටවල් අතර මහා පරිමාණයෙන් භාවිත කිරීමට සුදුසු සූත්‍රයක් නොවේ. එහිදී බර්නෙට් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඇමරිකාව වැනි රටවලට බොහෝ සෙයින්  ඇඟලුම් අපනයනය කරන මුත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රමාණවත් ලෙස ටර්බයින මිලදී නොගන්නා ශ්‍රී ලංකාව වැනි රටවල ආයාත නිර්යාත උදෙසා එය යොදා ගැනීමට සුදුසු සූත්‍රයක් නොවන බවයි. 

ඔහු පවසන ආකාරයට එවැනි ආයාත නිර්යාතයන් හිදී එය යොදා ගැනීම තනිකර දෝෂ සහගත වන්නේ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් එන ආනයනවලට තීරුබදු යොදා නොගතහොත් (ශුන්‍ය තීරුබද්දක්) එවිට වෙෙළඳ පරතරය ඉවත් කළ නොහැකි නිසාය. සැබෑ මිල ගැළපුම් සාධකය විය යුත්තේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිත කළ 0.25 නොව එය 0.95 විය යුතු බවද ඔහු සහතික කොට කියා සිටියේය. එම සාධකය යොදා ගත් විට එක් එක් රටවලින් එක්සත් ජනපදය කරන ආනයනය වැඩි කළ යුත්තේ 1.0න් නොව 3.8කි. 

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් එය වැඩි කළේ 1.0නි. එම තත්වය තුළ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් වෙළෙඳ අතිරික්තයක් ඇති රටවල් උදෙසා පැනවූ පරිපූරක තීරුබදු තීරණය කිරීමට යොදාගත් ගණනය කිරීම් එතැනම බිඳ වැටේ. උදාහරණයකට ශ්‍රී ලංකාව කොල්ලකෑවේ යයි කියූ ප්‍රමාණය සියයට 88 සිට සියයට 23 දක්වා පහත වැටේ. එයින් අර්ධය වන්නේ සියයට 12 විනා සියයට 44 නොවේ. කලින් ශ්‍රී ලංකාවට එනම් තිබුණේ සියයට 44ක තීරු බද්දකි. 

 ශ්‍රී ලංකාව මත පැනවූ නව 
 තීරු බදු අනුපාත 

2025 අප්‍රේල් මාසයේ නිවේදනය කළ තීරුබදු ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පසුව දින 90කට කල් තැබුවේ සෑම රටකටම සියයට 10ක තීරු බදු පදනමක් නියම කරමිනි. එම කාල පරිච්ඡේදය තුළ මෙම බලපෑමට හසුවූ සෑම රටක්ම එක්සත් ජනපද වෙෙළඳ බලධාරීන් සමග සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වූහ. 

එයින් ඇඟවූයේ එම රටවලට එම පදනම් අනුපාතය ඇසුරු කොට ඒ වටා සාකච්ඡා කළ හැකි බවකි. ශ්‍රී ලංකාවද ඇමරිකානු වෙෙළඳ බලධාරීන් සමග සාකච්ඡා කර මුලින් පැනවූ සියයට 44 අනුපාතය සියයට 10 සමීපයට ගෙන ඒමට ඇවිටිලි  කළේය. කෙසේ වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවේදනය කරනු ලැබුවේ 2025 අගෝ. 1 දින සිට ගෙවිය යුතු සියයට 30 තීරු බදු අනුපාතයකි. මේ සියල්ලට ඉහළින් තවත් සියයට 12ක පමණ තීරු බද්දදක් වේ. එය වඩාත් කැමති රටවල් උදෙසා අදාළ වූවකි. මෙය ශ්‍රී ලංකාවේ අපනයන මරා  දැමීමකි. 

මන්දයත් යම් රටකට තවදුරටත් සාකච්ඡා පවත්වා අනුපාත අඩුකර ගැනීමේ අවකාශය එයින් අවුරා තිබෙන නිසාය. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තේරීම වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇති වෙළෙඳ ාමෙන් ඉවත්ව කලාපයේ විභවතාව පවතින වෙනත් රටවලට යොමු වීමයි. එහෙත් එය මධ්‍යම කාලයේ සිට දීර්ඝ කාලය දක්වා ඇදෙන පියවරකි. 

මෙසේ ශ්‍රී ලංකාව දැන් පටන් ගත් තැනටම ඇද වැටී තිබේ. රටේ වෙළෙඳ ප්‍රතිපත්තිය දැන් මුළුමනින්ම නැවත සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.