චීන අලු‍ත් අවුරුදු සංස්කෘතික ප්‍රසංගයට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සම දායකත්වය



හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හම්බන්තොට මහ නගර සභාව සමග එක්ව, “2026 කලර්ෆුල් යුනාන්: රොන්ඩෙවූ ඉන් ශ්‍රී ලංකා”(Colourful Yunnan: Rendezvous in Sri Lanka),  යන මැයෙන් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී (MRICC) පවත්වන ලදී.

මෙම සංස්කෘතික සංදර්ශනය, චීන නව වසර සැමරීම නිමිති කරගෙන චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රසංග මාලාවකින් එකක් වන අතර, එතුළින් චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා පොදුජන සබඳතා වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරයි. යුනාන් ප්‍රදේශයට ආවේණික ගීත හා නර්තන  කලාවෙන් පූර්ණ වූ ප්‍රසංගය, චීනයේ යුනාන් පළාතේ ඉසුරුමත් සංස්කෘතික සම්ප්‍රදායන් විචිත්‍ර ලෙස නිරූපනය කරන ලදී. 

ජාත්‍යන්තර රංගන කලාවන් දේශීය ප්‍රජාව වෙත සෘජුව ව්‍යාප්ත කරමින්, කොළඹදී සාර්ථකව ඉදිරිපත් කළ සංදර්ශන දෙකකට අනුගාමීව හම්බන්තොටටත් ප්‍රසංගය රැගෙන ඒම, ශ්‍රී ලංකාවේ දකුණු කලාපයට  කළ විශේෂ සත්කාරයකි. 

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති ඉන්ද්‍රජිත් ද සිල්වා, හම්බන්තොට නගරාධිපති ඩී.ඒ. ගාමිණී, HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂු යන මහත්වරු විශේෂ අමුත්තන් ලෙස ප්‍රසංගය නැරඹීමට සහභාගී වූහ. 

මෙම සංදර්ශනයට සම දායකත්වය ලබා දීමෙන් HIPහුදෙක් ලොජිස්ටික්ස් සහ සමුද්‍රීය මධ්‍යස්ථානයක් පමණක් නොව, කලාව වැනි ජන සබඳතා ඉහළ නංවන වැඩසටහන් වෙනුවෙන් කැපව  ක්‍රියා කරන සමාගමක් ලෙස සනාථ කරන බව HIPG ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂු මහතා පවසයි. සම්ප්‍රදායික සංගීතය සහ නර්තන කලාව මුසු වූ රඟ දැක්වීම් රැසක් ඉදිරිපත් කළ 2026 කලර්ෆුල් යුනාන් ප්‍රසංගය, හම්බන්තොට සහ අවට ප්‍රදේශ වලින් පැමිණි  ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවකගේ ඇගයීමට ලක් විය .