චන්දන ගුනියන්ගොඩ පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට


පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්දන ගුනියන්ගොඩ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා සිට එම සමාගමේ විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ/සභාපතිවරයා ලෙස චන්දන මහතා පත් කෙරී තිබේ. 
වසර 27 කට අධික කාලයක වෘත්තීමය අත්දැකීම් සහිත ඒ මහතා සතුව වසර 19ක කාලයක් වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් අත්දැකීම් පවතින බව පවසයි. අද වනවිට ඒ මහතා MG Group of Companies හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී, නව විතානකන්ද තේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා මහජන බැංකුවෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වෙයි. පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමකි.