- ගම්මැදි ආශ්‍රිත හේන් බිම්වලින් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනෙනු ලැබු එළවළු තොග දැඩි ලෙස පහළ ගිහින්
- මාස් කන්නයේ දැඩි එළවළු හිඟයකට මුහුණපෑමට සිදුවන්නෙත් මේ හේතුවෙන්
- වල් අලි කරදරේ අද වනවිට හේන් ගොවිතැනට තියෙන ලොකුම ප්‍රශ්නයක්සමහර කන්නවල ගොවිතැන වැස්සට විනාශ වෙනවා. සමහර කන්නවල පෑවිල්ලට විනාශ වෙනවා. සමහර දවස්වලට අස්වැන්නට හරි මිලක් නෑ
- පොහොර සහනාධාරයක්වත් ලැබෙනව නම් ලොකු සහනයක්
බුල්නෑව ප්‍රදීප් රණතුංග
හේන් ගොවිතැන මෙරට ආහාර සංස්කාතිය මෙන්ම ජීවන සංස්කෘතිය සුරක්ෂිත කළ මාහැඟි තෝත්නැන්නකි. හේනේ වගා කෙරුණු එළවළු, ධාන්‍ය, අල බෝග ආදියෙන් ආහාර අහේනියක අවදානම අවම කළේය. මෙරට සාම්ප්‍රදායික හේන් වගාවෙන් රටේ වාර්ෂික එළවළු සහ ධාන්‍ය අවශ්‍යතාව සඳහා සුවිශාල දායකත්වයක් සැපයුවේය. විශේෂයෙන් රජරට ඈත වන මායිම් ගම්මැදි ආශ්‍රිතව මෙන්ම සත් කෝරලයේ සමහර ප්‍රදේශ තුළත්, කඳුකරයේ මහියංගනය ආදි ප්‍රදේශවලත්, ඉන් ඔබ්බට පානම් පත්තුවේ අම්පාර ආදි කලාප ආශ්‍රිතවත්, රුහුණු ගිරුවාපත්තුවේ ඈත ගම්මැදි තුළත් මෙරට සාම්ප්‍රදායික හේන් ගොවිතැන මුල් බැස පැවතුණේය.
ක්‍රමිකව මේ ගම්මැදි හේන් බිම් ආශ්‍රිතව වගා කෙරුණු එළවළු, ධාන්‍ය බෝග ආදියෙහි අස්වනු ගමෙන් නගරයට එන්නට විය. එමගින් එළවළු, මිරිස්, ධාන්‍ය බෝග මගින් ස්වයංපෝෂිත වීමටත්, මිල උච්ඡාවචන ක්‍රියාවලිය තුළනය කිරීමටත් විශාල ශක්තියක් එක් කළේය. එහෙත් වර්තමානය වන විට හේන් වගාව පැහැදිලි බිඳවැටීමකට ලක්වෙමින් තිබේ. එහෙයින් විශාල වශයෙන් ධාන්‍ය බෝග මෙන්ම සමහර එළවළු ආදිය ආනයනය කරන තැනට කටයුතු යෙදී තිබේ. මෙම පසුබිම තුළ කලින් කලට ධාන්‍ය බෝග පමණක් නොව එළවළු මිල විශාල ලෙස ඉහළ යෑමට හේතුවී තිබේ.
කරුණු එසේ වන විට සාම්ප්‍රදායික හේන් ගොවීන් පවා කිසිකලෙක නොවු ලෙස වෙළෙඳපොළෙන් එළවළු, අමු මිරිස් ආදිය මිලට ගෙන ආහාරයට ගන්නා තැනට කටයුතු යෙදී තිබේ. ඒ අනුව ගම්මැදි ආශ්‍රිතව හේන් බිම්වලින් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙනෙනු ලැබු එළවළු තොග දැඩි ලෙස පහළ බැස ඇති බව නිරීක්ෂණය කළ හැකිව තිබේ. කලක සිට සිදුවන මෙම අගතිදායක තත්වය හේතුවෙන් වසර අවසානයේ මාස් කන්නයේ දැඩි එළවළු හිඟයකට මුහුණපෑමටත්, ඉතා ඉහළ මිලකට එළවළු, පමණක් නොව මිරිස් ආදිය පවා මිලට ගැනීමටත් මෙරට පාරිභෝගික ජනයාට සිදුව ඇත.
තවමත් පාරම්පරික හේන් වගාවේ නියුතුව සිටින මැදවච්චිය එස්. නිලන්තිකා අද හේන් ගොවිතැන මුහුණු පා ඇති ගැටලු පිළිබඳව මෙසේ පැවසුවාය.
“අද වෙනවිට හේන් ගොවිතැනට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වල් අලි කරදරේ. යන්තන් හැදීගෙන එන හේනකට අලි දෙතුන් දෙනෙක් පැන්නොත් කන්නයක් තිස්සේ වෙච්ච මහන්සිය ඔක්කොම වතුරේ. මේ කාලේ හේන් වගාවට කියලා කාගෙන්වත් ලොකු උදව්වක් හම්බවෙන්නේ නෑ. මිනිස්සු තමන්ගේ මහන්සියෙන් දහදුක් විඳගෙන ගොවිතැන් කරනවා. සමහර කන්නවල ගොවිතැන වැස්සට විනාශ වෙනවා. සමහර කන්නවල පෑවිල්ලට විනාශ වෙනවා. සමහර දවස්වලට අස්වැන්නට හරි මිලක් නෑ. එක එක ප්‍රශ්න. ඒත් මේ ගොවිතැන අතඇරලා අපි වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ වෙන ක්‍රමයක් නෑ. බලපුවහම අවසානේ ඇති දෙයක් නෑ. පොහොර සහනාධාරයක්වත් ලැබෙනව නම් අපිට ලොකු සහනයක්.”
මෙම අවාසනාවන්ත තත්වය සමහන් කිරීම සඳහා මෙරට කෘෂිකර්මය හා සම්බන්ධ වගකිව යුත්තන් සතු එකම විකල්පය වී ඇත්තේ ධාන්‍ය පමණක් නොව එළවළු, අල බෝග ආදියද ආනයනය කිරීම පමණකි. ඉකුත් සමයේ මිලියන ගණනක මුදල් වැය කර තක්කාලි පවා ආනයනය කර ඇති බවට අනාවරණය විය. මෙරට සාම්ප්‍රදායික හේන් බිම්වල වට්ටක්කා, බණ්ඩක්කා, මෑ කරල්, කරවිල, වම්බටු, තිබ්බටු, වැටකොළු, තක්කාලි, තුඹ කරවිල, කැකිරි, පිපි ආදි එළවළු වර්ග රැසක් මෙන්ම කුරහං, කව්පි, මුං වැනි ධාන්‍ය බෝගත්, මෙරට ආහාර පෙළපතෙහි අත්‍යවශ්‍ය අංගයක්ව පවතින මිරිස් පමණක් නොව මඤ්ඤක්කා වැනි අල බෝගත් සරුසාරව වැවුණේය. ග්‍රාමීය ප්‍රදේශවල ආහාර සුරක්ෂිතතාව එමගින් රැකුනා පමණක් නොව අතිරික්කය වෙළෙඳපොළ කරා ගෙන ඒමෙන් හේන් ගොවියාගේ ජීවන තත්වයද යම් පමණකට ආරක්ෂා වී තිබිණි.
වසර තිහකට වැඩි කලක් තිස්සේ හේන් වගාවේ නියුතුව සිටින මැදවච්චියේ ආනන්ද විජේරත්න පැවසුවේ මෙවැනි අදහසකි.
අපිට තිබුණ දේශිය එළවළු බීජ ටික නැතිවුණ එක තමයි සිද්ධ වුණ ලොකුම හානීය. මේ අලුත් බීජවලින් ගස්, වැල් වලටත් ලෙඩ. ගෙඩි කරල් වලටත් ලෙඩ. මල් හැලෙනවා. ලෙඩ එකක් නෙමෙයි. ඇත්තටම අපි ළඟ තිබ්බ එළවළු බීජවලට මේ කිසි ලෙඩක් තිබුණේ නෑ. මිරිස් ඇට වුණත් එහෙමයි. ඵලදාවත් හොඳයි. ලෙඩත් අඩුයි. අපිත් දන්නෑ අපි ළඟ තිබ්බ දේවල්වලට මොකද වුණේ කියලා. අනිත් එක ඉස්සර ගොවිතැනට කියලා දැන් තරම් නිලධාරි ගොඩක් හිටියේ නෑ. හැබැයි හිටපු කීපදෙනා මිනිස්සුන්ට උදවු කෙරුවා. දැන් ඉන්න අය දකින්න කාර්යාලවලට යන්න ඕන.. ඒ අය කියන්නේ එක යායට බඩඉරිඟු හදන්න කියලා විතරයි. වෙන සහනයක් නෑ.
නිසි කලට වැසි නොවැටීමත්, වරකදී වගාව අසානාසි කරමින් ඇදවැටෙන අධික වැස්සත් මහත් ගැටලුවක් වී ඇත. එමෙන්ම ප්‍රමිතියෙන් යුතු බීජ සපයා ගැනීම, විවිධ පලිබෝධ හානි, වල් අලින්, ඌරන්, රිළවුන්, වඳුරන්, හාවුන් ආදි වන සතුන්ගෙන් මෙන්ම ගිරවුන්, මයිනන්, මොණරුන් ආදි නේක සතුන්ගෙන් වගාවට වන හානිය, ඉඩම් නිරවුල් නොවීම පිළිබඳ ගැටලු, හේන් ගොවීන් සදහා ඇති රජයේ සහනදායි උපකාර ප්‍රමාණවත් නොවීම, භව බෝග සඳහා නිසි මිලක් නොලැබීම ආදි කම්කටොළු රැසකට මැදිවන්නට වත්මන් හේන් ගොවියාට සිදුව ඇත.
නවදැලි හේන, අත්දඩුවා හේන හා හේන් කනතු වශයෙන් හේනේ ස්වභාවය අනුව වර්ග කොට දක්වන්නට අපේ පැරැන්නන් පෙළැඹී ඇත්තේ පරිසරය හා ඔවුනගේ ඇති අවියෝජනීය සබැඳියාව කොතෙක්ද යන්නට මනාව දෙස් දෙමිනි. අලුතින්ම ගස් කපා පාදා භව බෝග වවන භුමිය නවදැලි හේන ලෙසත්, අත් දණ්ඩක් තරමට වැවුණු ගහකොළ පාදා ගිනි තබා වපුරන හේන අත්දඬුවා හේන ලෙසත් ගැමියන් හැඳින්වුයේ අහේතුකව නොවන වග පැහැදිලිය. හේන් බිමේ පැළ ඉන්දවන්ට, බීජ සිටුවන්ට, දඬු යට කරන්ට මවුපියන්ට උපකාරි වීමට දරු දැරියන්ට සිදුවුයේ ගැමි ජන ජීවිතයේ රස නීරස හා මනාව මුහු වෙමිනි.
හේනෙහි වෙහෙස මහන්සි වෙන උදවියට තේ පැන්, ඔසු පැන්, කුරහං රොටී ආදි අඩුම කුඩුම ගෙනයෑමට ඔවුනට සිදුවිය. ඉරමුසු, රනවරා, පොල්පළා, නීරමුල්ලිය ආදි ඔහේ ඉබාගාතේ හැදුනු ඖෂධීය පැළෑටි මගින් පදම් කළ ඔසුපැන් එවක ගැමියන්ගේ වෙහෙස නිවීමට කදිමට මහෝපකාරී වී ඇත. අස්වනු නෙළන වකවානුව වන විට පවුලේ සියලුදෙනා හේනේ ඉදිවන පැල තුළ දවස ගෙවන ආකාරය වන මායිම් ගම්වල එවක දැකිය හැකි වු සුළභ දසුනකි. වර්තමානයේ මේ සියලු සංස්කෘතික උරුම්ය ද සාම්ප්‍රදායික හේනත් සමග වළපල්ලට යමින් ඇත. බඩඉරිඟු වැනි ආර්ථික බෝග සපුරාම සාම්ප්‍රදායික හේන තුළ වැවීමට ගොවීන් පෙළඹවීමද මේ බිදවැටීමට විශාල පිටිවහලක් වී තිබේ. හේනේ සාම්ප්‍රදායික භව බෝග වාගවද ආරක්ෂා වන අන්දමින් එහි ආර්ථික බෝග වගාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලධාරින්ගේ අවධානය යොමු කළ යුතුව තිබේ. එසේ නොවන්නේ නම් කුරහං, මුං, කවිපි පමණක් නොව එළවළු බෝග ද ඈත ගම්මැදි වල ජනයාට ද ආනයනය කරදීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.