ගංවතුර සහන කටයුතුවලට ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක



ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍ය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාශයේ සම්බන්ධීකරණය යටතේ ආරම්භකර ඇත.

ප්‍රීමා නිෂ්පාදන අඩංගු මෙම වියළි සලාක තොගය පසුගිය නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදී. ආපදා තත්වය හමුවේ වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක් වෙත එම අමුද්‍රව්‍ය තොගය බෙදා හැරීමට නියමිතය. මෙම සහනාධාරය එදිනෙදා ජන ජීවිතය තර්ජනයට ලක් වූ විශාල ජන පිරිසකගේ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට සහය වන බව විශ්වාසයි. 

මෙම පරිත්‍යාගය භාරදීම ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා විසින් එම පරිත්‍යාග භාර ගන්නා ලදී. ප්‍රීමා සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඞ් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න සහ සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් පීඑල්සී හි සාමාන්‍යාධිකාරී සංජීව පෙරේරා යන මහත්වරු මෙම වියළි සලාක තොගය භාරදීමට සහභාගී වූහ.

ප්‍රීමා සමූහ ව්‍යාපාරය වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සිටින අතර, මෙම පරිත්‍යාගය අතිශය අසීරු හා අභියෝගාත්මක කාලවලදී ජාතිය කෙරෙහි ඇති හෘදයාංගම කැපවීම පිළිබිඹු කරයි. දිවයින පුරා සහන මෙහෙයුම් රැසක් අඛණ්ඩව සිදුවන මේ මොහොතේ රාජ්‍ය බලධාරීන් සමඟ එක්ව සහයෝගයෙන් විපතට පත් පවුල්වලට ඔවුන්ගේ ජන ජීවිත යළි ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සහ අඛණ්ඩ සහන සැලසීමේ ක්‍රියාවලියට සහාය වීම ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ මූලික අරමුණ වේ.