කොළොන්නාව නිමාවේ සිට කොළඹ වරායට අලු‍ත් නළ මාර්ග එළීමේ ව්‍යාපෘතියක්


නිමල කොඩිතුවක්කු

කොළොන්නාව නිමාවේ සිට කොළඹ වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආනයනික ඛනිජ තෙල් නිෂ්පාදන කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා ප්‍රවාහනය දැනට නළ මාර්ග 5 ක් මගින් සිදු කරනු ලබයි.
එම නළ මාර්ග ඉතා පැරණි ඒවා වන අතර, පසුගිය වසර ගණනාවක් පුරා නිරන්තර කාන්දුවීම් වාර්තා වි ඇත.


එබැවින්, විශ්වාසදායක නළ මාර්ග පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර යෝජනා කැඳවා ඇති නමුත්, එකී යෝජනා මත පදනම්ව සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.


එබැවින්, මීට පෙර ක්‍රියාත්මක කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර, කොළඹ වරායේ ඩොල්ෆින් තෙල් නැව් තටාකාංගනයේ සිට කොළොන්නාව නිමාව දක්වා අඟල් 18ක සහ අඟල් 14ක විශ්කම්භයකින් යුත් නළ ඇතුළත පරීක්ෂා කිරීමේ හැකියාව සහිත යන්ත්‍රෝපකරණ භාවිත කළ හැකි නළ මාර්ග 02 ක් ඉදිකිරීම, කොළඹ වරායේ ඩොල්ෆින් තෙල් නැව් තටාකාංගනයේ සිට සේරම් ගේට්ටුව දක්වා අඟල් 12ක විශ්කම්භයකින් යුත් මුහුදු පත්ල යටින් දිවෙන නළ මාර්ග කොටස ඉදිකිරීම සහ කොළඹ වරායේ සහ කොළොන්නාව නිමාවේ පර්යන්ත අවශ්‍ය පරිදි වෙනස් කිරීම යන ව්‍යාපෘති සංරචකයන්ගෙන් යුත් කොළොන්නාව සිට වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.