කොළඹ හා යාපනය නගරවල පාත්ෆයින්ඩර් එඩිටෙක් ඉන්ස්ටිටියුට් ඇරඹේ


එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය එච්.සී.එල්. ටෙක් ග්ලෝබල් සමාගම සමග ශ්‍රී ලංකාවේ තරුණන් වෙනුවෙන් තාක්ෂණික හා සන්නිවේදන පුහුණු වැඩසටහන් සඳහා පියවර ගෙන තිබේ. රටවල් හැටක දැනට තොරතුරු තාක්ෂණය හා කෘතිම බුද්ධිය ඇතුළු අංශ ගණනාවක පුහුණුව සපයන එච්.සී.එල්. ටෙක් ග්ලෝබල් සමාගම මෙරට පුහුණු වැඩසටහන් සඳහා එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය සමග සහයෝගීතාවෙන් පාත්ෆයින්ඩර් එඩිටෙක් ඉන්ස්ටිටියුට් ආයතනය ස්ථාපනය කරන ඇත. 
එච්.සී.එල්. ටෙක් ග්ලෝබල් සමාගම පළමු වටයේ දී කොළඹ හා යාපනය නගරවල ස්ථාපිත කරන මධ්‍යස්ථානවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානම්ව සිටී. ඩිජිටල් යුගයේ දැනුම හා පුහුණුව සහිත ශ්‍රමබලකායක් නිර්මාණය කරන වැඩ පිළිවෙළක් වශයෙන් දෙවැනි අදියරේ දී රට පුරා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන් ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කිරීම සඳහා මෙම පුහුණු සැලැස්ම දියත්කරන බව එච්.සී.එල්. ටෙක් ග්ලෝබල් සමාගම උප සභාපති සිරිමති ශිවෂේකරන් මහත්මිය කියා සිටියාය. ආර්ථික වර්ධනය හා අවස්ථා ඇති කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ ශිල්පීය දක්ෂතා දියුණු කිරීම සඳහා සිය සමාගම මෙම ක්ෂේත්‍රය සඳහා අලුතින්ම එකතුවන බව එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක කේ. බාලසුන්දරම් මහතා ප්‍රකාශ කරයි.
2020 වසරේ දී එච්.සී.එල්. ටෙක් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය ආරම්භ කළ අතර 2021 දී මෙරට විශාලතම පුහුණු හා ඩිජිටල් සේවා කේන්ද්‍රය කොළඹ දී ආරම්භ කළේය. කොළඹ හා යාපනයේ ආරම්භ කරන තරුණ පුහුණු මධ්‍යස්ථාන එයට සමාන්තරව ක්‍රියාත්මක වනු ඇත.