- 2026 අප්‍රේල් මාසයේදී කොළඹ වරාය බහාලුම් ඒකක 761,096 ක් මෙහෙයවලා
- ජනවාරි සිට අප්‍රේල් දක්වා සමුච්චිත බහාලුම් මෙහෙයුම් ප්‍රමාණය බහාලුම් ඒකක 2,915,004 ක්
අංජුල මහික වීරරත්න
කොළඹ වරාය 2026 වසරේ පළමු මාස හතරේ බහාලුම් මෙහෙයුම් පරිමාවේ සියයට 22 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
ඒ අනුව, 2025 අප්‍රේල් මාසයේදී වාර්තා වූ බහාලුම් ඒකක 623,719 ට සාපේක්ෂව, 2026 අප්‍රේල් මාසයේදී කොළඹ වරාය බහාලුම් ඒකක 761,096ක් මෙහෙයවා ඇත.
ජනවාරි සිට අප්‍රේල් දක්වා සමුච්චිත බහාලුම් මෙහෙයුම් ප්‍රමාණය බහාලුම් ඒකක 2,915,004 කි. මෙය 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයේ මෙහෙයවන ලද බහාලුම් ඒකක 2,559,847 ට සාපේක්ෂව බහාලුම් ඒකක 355,157 ක වර්ධනයක් වන අතර එය සියයට 13.9 ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
කොළඹ වරාය ප්‍රධාන වශයෙන් ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙස අඛණ්ඩව ක්‍රියා කරන අතර, එහි සමස්ත මෙහෙයුම්වලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිඅපනයන භාණ්ඩ වේ.
විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන ආනයන ඇතුළු තොග භාණ්ඩ මෙහෙයුම් සැලකිය යුතු ප්‍රමාණයක් ද කොළඹ වරාය හරහා සිදු කෙරේ. 2025 වසරේදී කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 8.2 ක් පමණ මෙහෙයවා ඇති අතර, කලාපයේ කාර්ය බහුලම වරාය අතර සිය ස්ථානය තවදුරටත් රැකගෙන ඇතැයි වරාය අධිකාරිය කියයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2026 වසර අවසන් වීමට පෙර කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ දෙවන අදියර ඉදිකිරීම සඳහා අභිලාෂ (EOI) කැඳවීමට ද සූදානම් වෙමින් සිටින අතර මෙම ව්‍යාපෘතිය මගින් වරායේ වාර්ෂික මෙහෙයුම් ධාරිතාවට තවත් බහාලුම් ඒකක මිලියන 3 කට වඩා වැඩි ප්‍රමාණයක් එක් වනු ඇතැයි අපේක්ෂා කරන බව වරාය අධිකාරිය සඳහන් කරයි.

