කොළඹ උද්ධමනය තවදුරටත් ඉහළට


කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතු පිට උද්ධමනයේ දර්ශක අගය පසුගිය ඔක්තෝබර් මාසයේදී 193.8ක් වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය සැප්තැම්බර් මාසයේ සටහන් වූ 193.7 හා සැසඳීමේදී සියයට 0.1ක ඉහළ යාමකි. 
විශේෂයෙන්ම මෙම තත්වය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිදු කරන ලද පුරෝකථනවලට අනුකූල අවස්ථාවක් වන බවත් මහ බැංකුව සඳහන් කරයි. එසේම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 වසරේදී වාර්තා කළ සියයට 1.5 සිට ඔක්තෝබර් මාසයේදී සියයට 2.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 2.9 සිට ඔක්තෝබර් මාසයේදී සියයට 3.5ක් දක්වා තවදුරටත් ඉහළ යාම සිදුව තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 0.7ට සාපේක්ෂව ඔක්තෝබරයේදී සියයට 1.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
මේ අතර ඉදිරි කාලය තුළදී උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යමින්, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව සියයට 5ක උද්ධමන ඉලක්කය කරා ගමන් කරනු ඇති බවට මෙම නවතම පුරෝකථන මගින් පෙන්නුම් කරන බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.