කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල සිදු වූ බිඳවැටීම් සැලකිය යුතු ප්‍රතිශතයකින් ආවරණය කරගැනීමට සමත්ව තිබේ. දෙසැම්බර් ආරම්භවන විට මෙරට නායයෑම් හා සුළි කුණාටු තත්වය වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් තැතිගත් ගනුදෙනුකරුවෝ කොටස් විකිණීමට යුහුසුළු වූහ. එක දිනක් තුළ දර්ශක හත්සියයකින් පමණ පසු බැසීමක් දෙසැම්බර් පළමුවැනි දා වාර්තා වූ අතර ක්‍රමයෙන් එතැන් සිට අවිනිශ්චිත ගනුදෙනුවාර ගණනාවක් සනිටුහන් විය. කෙසේ නමුත් ඊයේ ගනුදෙනු අවසන් වන විට මුල් දිනවල බිඳවැටීමෙන් සිදු වූ අවාසියෙන් හරි අඩකට වැඩි කොටසක් ආවරණය කරගැනීමට සමත් වූ බව නිරීක්ෂණය කළ හැකිය.
විදේශික ආයෝජන අංශ කොටස් විකිණීමට තීරණය කර තිබිය දී මෙම වර්ධනය වැදගත් සන්ධිස්ථානයක් බව දැක්විය හැකිය. මෙම සතියේ ගෙවුණ දින හතර ඇතුලත විදේශ මිල දී ගැනීම් රු. මිලියන 723 ක් බව දැක්වෙන අතර විකිණීම් රු. මිලියන 313 කි. ඊයේ (දෙසැ 11) පමණක් රු. මිලියන 59 ක කොටස් මිල දී ගන්නා පසු විකිණීම් රු. මිලියන 210 ක් බව දැක්වේ. සතියේ දින හතරක් තුළ මෙරටින් බැහැර වූ ශුද්ධ වටිනාකම රු. මිලියන 410 කි.
දිනයේ ආරම්භයේ දී ඉක්මන් වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය.පසුව බිඳ වැටිණ. විකිණීමට වෑයම් කළ ඇතැම් සුළු ආයෝජන අංශ එයට වගකිව යුතුය. පසුව දිනය අවසානයේ සාමාන්‍ය වර්ධනයක් කරා පැමිණියේය. බලශක්ති, ද්‍රව්‍ය, ප්‍රාග්ධන භාණ්ඩ, ප්‍රවාහන, රථවාහන, සිල්ලර ආහාර පාන, සන්නිවේදන, පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කොටස් මිල දී ගැනීම පිබිදීමට හේතු වී තිබේ.
ඊයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,459.28 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 36.85 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,095.15 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 11.09 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 5.55 කි. ගනුදෙනු 34,388 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 170.82 ක් විය. සමාගම් 136 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 114 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 59.56 ක් වැනි ඉහළ අගයක විය.
නිරීක්ෂක

