කැදැල්ල එන්ටප්‍රයිසස් නිවාස ඉදිකිරීම් ආයතනයට සම්බන්ධ වෙනත් කිසිදු ආයතනයක් නෑ - සභාපති ක්‍රිෂාන්ත මුතුකුඩඅාරච්චි


මහරගම ඇල්හේන පාරේ පිහිටි කැදැල්ල එන්ටප්‍රයිසස් නිවාස ඉදිකිරීම් ආයතනයට සම්බන්ධ වෙනත් කිසිදු ආයතනයක් නැතැයි කැදැල්ල එන්ටප්‍රයිසස් නිවාස ඉදිකිරීම් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත මුතුකුඩඅාරච්චි මහතා පැවසීය.

කැදැල්ල නිවාස ඉදිකිරීම් ආයතනය නමින් ව්‍යාජ නමක් යටතේ පවත්වාගෙන ගිය ආයතනයකට මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇතැයිද එවැනි ආයතනවලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මුතුකුඩඅාරච්චි මහතා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීය. පුද්ගලයන් කිහිප දෙනෙක්ම එවැනි වංචනික ස්ථානවලට හසුවී ඇති බැවින් නිවාස ඉදිකිරීම සඳහා මුදල් ගෙවීමට පෙර ව්‍යාජ ආයතනය හඳුනාගෙන ගෙවීම් කරන ලෙස මුතුකුඩආරච්චි මහතා එහිදී ඉල්ලා සිටියේය.

නිවාස ඉදිකිරීමේ ව්‍යාජ ආයතන විසින් රුපියල් ලක්ෂ 5-10ක් වැනි අත්තිකාරම් ලබාගෙන ඇණවුම් ලබාගෙන මුදල් වංචා කරන බව ඔහු කීය. කැදැල්ල ආයතනය නිවසක් ඉදිකිරීමට මුළු වටිනාකමෙන් සියයට 60ක් මුල් අවස්ථාවේදීම ලබාගෙන විශ්වාසනීයව කටයුතු කරන්නේ යැයිද මුතුකුඩආරච්චි මහතා පැවැසීය. කැදැල්ල ආයතනයේ නීති නිලධාරී, යාපාගේ ඉන්දු මහත්මිය ප්‍රකාශ කළේ කැදැල්ල නමින් ඇති ව්‍යාජ ආයතනවලට මුදල් ලබාදී ජනතාව ඇති කරගන්නා නීතිමය ගැටලු‍වලට තම ආයතනයට කිසිවක් කළ නොහැකි බවයි.
එම නිසා ජනතාව නිවසක් ඉදිකර ගැනීමට පෙර අන්තර්ජාලයෙන් පමණක් නොව එම ආයතනයට ගොස් අවශ්‍ය කාරණා තහවුරු කරගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයි යාපාගේ ඉන්දු මහත්මිය කීවාය.