කොන්ත්‍රාත් සමාගම්වල විශ්වාසය දිනා ගැනීමට නමි හිමිකම් නිකුතුවට අනුමැතිය හිමිවිය යුතුයි
භානුක අමරසිංහ
කොළඹ නැව් තටාකාංගන සමාගම හෙවත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමට අලුතින් නෞකා ඉදිකිරීම් සම්බන්ධයෙන් කොන්ත්‍රාත්තු දෙකක් හිමිවීමේ අවස්ථාවක් පවතින බව එම සමාගම පවසයි. දැනටමත් ඒ සඳහා අදාළ සමාගම් සමගින් වන එකඟතාවට පිවිස තිබෙන බව පසුගියදා කොළඹ කොටස් හුවමාරුවට ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම පවසා සිටියි.
කෙසේ වෙතත් මෙම කොන්ත්‍රාත්තු දෙක සාර්ථක ලෙස හිමිවීම සඳහා සමාගම මගින් දැනට කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට යෝජනා කර ඇති හිමිකම් නිකුතුවට අදාළ අනුමැතිය ලැබීම වැදගත් බව සමාගම සඳහන් කරයි.
“මෙම හිමිකම් නිකුතුව ඉදිරියට පවත්වාගෙන යාමට අනුමැතිය හිමිවීමත් සමගින්ම හිමිවන මූල්‍යමය සුරක්ෂිතතාව සමගින් අදාළ කොන්ත්‍රාත්තු හා සම්බන්ධ ගනුදෙනුකරුට වඩාත් හොඳින් පහසුකම් සැලසීමට සමාගමට අවස්ථාව හිමි වෙනවා.’’
විශේෂයෙන්ම කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ නව ආයෝජකයා වෙත දැනට පවතින පාලක කොටස් හිමිකාරීත්වය එලෙසින්ම පවත්වාගෙන යාමේ හැකියාව මින් සුරක්ෂිත වනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
කලම්බු ඩොක්යාර්ඩ් සමාගම මේ වනවිට දරුණු මූල්‍ය හිඟයකට මුහුණ දී සිටින අතර, එය මඟහරවා ගනිමින් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම හිමිකම් නිකුතුව වෙත අදාළ නියාමන අනුමැතිය හිමිවිය යුතු බව පවසා සිටියි. එහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් නවයක් සඳහාම අලුතින් කොටස් 2ක් නිකුත් කිරීම යෝජනා කෙරී තිබේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 323,365,158ක් වන අතර, කොටසක් රුපියල් 40.00ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 12.9 ක් (රු.12,934,606,320) වෙයි.
කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ පාලක කොටස්හිමිකරුවා වූ ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් කම්පැනි ලිමිටඩ් සමාගම පසුගිය වසරේදී එම ආයෝජනයෙන් ඉවත් වූ අතර, නව ආයෝජකයා ලෙස ඉන්දියාවේ මැසගොන් ෂිප් බිල්ඩර්ස් ලිමිටඩ් සමාගම ඉදිරිපත්ව සිටියි.

