උද්ධමන ඉලක්කය ගැන මහ බැංකුව ජනතාවගෙන් අදහස් විමසයි


ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැනට ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිතීන් සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් විමසන සමීක්ෂණයක් සිදු කරන බව මහ බැංකුව පවසයි. විශේෂයෙන්ම මෙම උද්ධමන ඉලක්කය සම්බන්ධයෙන් සාමාන්‍ය මහජනතාව සතු දැක්ම පිළිබඳව අවබෝධය ලබා ගැනීම අරමුණ වී තිබේ. එහිදී උද්ධමන මිනුම්, ඉලක්කගත මට්ටම් සහ ආන්තික සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. 

ඒ අනුව මහ බැංකුවේ වෙබ් අඩවියට ගොස් මෙම සමීක්ෂණය සඳහා වන ලින්කුවට පිවිස ඒ හරහා ලැබෙන ඩිජිටල් ලිපිගොනුව පිරවීමෙන් රටේ ඕනෑම පුරවැසියකුට මෙම සමීක්ෂණයට සම්බන්ධ විය හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.  

අද වනවිට ක්‍රියාත්මක මෙම නම්‍යශීලී උද්ධමන ඉලක්කය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර ඇති කර ගෙන ඇති ඉලක්කයකට අනුව සකස් කර තිබේ. මෙම එකඟතාව මුදල් ප්‍රතිපත්ති ක්‍රියාරාමු එකඟතාව ලෙස හැඳින්වෙයි. ඊට අනුව උද්ධමන ඉලක්කය සියයට 5ක අගයක් ගන්නා අතර, ±2 ක ආන්තිකයක් ඊට අනුමත කෙරී තිබේ.