ඉඩම් කැබලි මිලියන 3.5ක පිඹුරුපත් Digitize කර ඉඩම් තොරතුරු පද්ධතියට


 

  • ශ්‍රී ලංකාව තුළ ඉඩම් කැබලි මිලියන 16ක් පමණ පවතින බවට ඇස්තමේන්තු කරලා

නිමල කොඩිතුවක්කු 


ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව දෘඪ පිටපත් ආකාරයෙන් පවතින ඉඩම් කැබලි මිලියන 3.5ක පිඹුරුපත් අංකිතකරණය (Digitize) කර ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඉඩම් කැබලි මිලියන 16ක් පමණ පවතින බවට ඇස්තමේන්තු කරනු ලැබ ඇත. එම ඉඩම් කැබලි ප්‍රමාණයෙන් මේ වන විට ඉඩම් කැබලි මිලියන 6ක් පමණ මැනුම් කර ඇති අතර, ඉන් මිලියන 2.5ක පමණ තොරතුරු අංකිත තත්වයෙන් (Digitized Format) පවතී. එම දත්ත ඉඩම් තොරතුරු පද්ධතියකට ඇතුළත් කර ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර ඇත.

 රජයේ ආයතන, පාර්ශ්වකරුවන් සහ මහජනතාවට නිවැරදි සහ සත්‍යාපනය කළ හැකි ඉඩර්ම තොරතුරු වෙත ප්‍රවිෂ්ඨ වීමට ඉඩකඩ සැලසීමෙන් ඉඩම් කළමනා කරණ කාර්යක්ෂමතාව සහ තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, වර්ෂ 1800 සිට මනින ලද දෘඪ පිටපත් ආකාරයෙන් පවතින ඉතිරි ඉඩම් කැබලි මිලියන 3.5හි තොරතුරු අංකිතකරණය කර ඉධම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.