ආපදාවෙන් පීඩාවට පත් වූ දූ දරුවන්ට Atlas Axillia සමාගමෙන් රුපියල් මිලියන 7ක පාසල් උපකරණ



පසුගිය ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් වූ දූ දරුවන්ට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පවුල්වල දරුවන් සඳහා Atlas Axillia සමාගම, සිය සේවකයන්ගේ පරිත්‍යාගශීලි දායකත්වය සමගින් රුපියල් මිලියන 7ක් වටිනා අභ්‍යස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය. 

එලෙස පරිත්‍යාග කරනු ලැබූ පාසල් ද්‍රව්‍ය, ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහාය ඇතිව බෙදා හැරීමට කටයුතු කළ අතර, නව පාසල් වාරය ආරම්භයේ දී පාසල් සිසු දරුවන් 1,800 කට අධික සංඛ්‍යාවකට එමගින් ප්‍රතිලාභ සැලසුණි. කිසිදු දරුවකුගේ පාසල් ගමන අතරමග නතර නොකිරීමේ මහඟු‍ ආදර්ශය පෙරදැරි කරගත් Atlas හි ප්‍රමුඛතම වැඩසටහනක් වන Atlas සිප්සවි යටතේ මෙම පරිත්‍යාගය සිදු කරන ලදී. 

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම උපකරණ පරිත්‍යාගය සිදු කරන ලදී. ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ දරුවන්ට අත්‍යවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය සමගින් යළි පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම උදෙසා මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් ඉවහල් වූ බව ඇය එහිදී සඳහන් කළා ය.