වැව් දිය පහස සොයා යන අලි ඇතුන්
වන අලින් හානි කළ දිළිදු නිවසක්
බුල්නෑව ප්‍රදීප් රණතුංග
ඉකුත්දා අලි - මිනිස් ගැටුමේ තවත් ඛේදනීය පුවතක් පළ විය. වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ “භාතිය” නම් හස්තියා අවාසනාවන්ත ලෙස මියයෑම එම ප්‍රවෘත්තියයි. එම සත්වයාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී අවසන්ව තිබිණි.
මේ මෑතකදී වාර්තා වූ එවැනි එකම සිදුවීම මෙය නොවේ. මෙපරිද්දෙන් මිනිසුන් නිසා අලි ද, අලි නිසා මිනිස්සු ද මියගිය පුවත් අතෝරකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ මෙම වසරේ ගතවූ කාලයේදී අලි - මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි මරණ 198 ක් සහ පුද්ගල මරණ 63 ක් වාර්තා වී ඇති බවය. ඉන් වන අලි ඝාතන වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොළොන්නරුව කලාපයෙන් වන අතර, පුද්ගල මරණ වැඩි වශයෙන් සිදුව ඇත්තේ නැගෙනහිර කලාපයේදී බව සදහන්වේ. මේ අනුව ඉකුත් ජූනි මාසය වන විට සමස්තයක් ලෙස වන අලි මරණ සහ පුද්ගල මරණ 261 ක් වාර්තා වී තිබේ. එහිදී නැගෙනහිර වන ජීවී කලාපයෙන් වන අලි මරණ 46 ක්, අනුරාධපුර කලාපයෙන් 34 ක් සහ පොළොන්නරුව කලාපයෙන් 28 ක් වාර්තා වී ඇත. වන අලි පහරදීමෙන් සිදුවූ පුද්ගල මරණ 18 ක් පොළොන්නරුව කලාපයෙන් වාර්තා වී තිබේ. එමෙන්ම නැගෙනහිර කලාපයෙන් පුද්ගල මරණ 13 ක් සහ අනුරාධපුර වන ජීවී කලාපයෙන් මරණ 09 කට සුදු කොඩි දමන්නට සිදුව ඇත.
වෙඩි තැබීමෙන් හෝ බඳින තුවක්කු පත්තු වීමෙන්, හක්ක පටස් පිපිරීමෙන් ද, විදුලිය සැර වැදීමෙන් බොහෝ විට වන අලීන් ජීවිතක්ෂයට පත්ව තිබේ. වස විස කැවීමෙන් සිදුවු අලි මරණ පිළිබද තොරතුරු ද ඉකුත් සමයේ වාර්තා වී තිබේ. දුම්රියෙහි ගැටීමෙන් හා වගා ළිං වෙත ඇද වැටීමෙන් ද වන අලි සැලකිය යුතු පිරිසක් අකාලේ දිවි හැර ගියේය.
අලි මිනිස් ගැටුමට තිරසර විසඳුම් දෙන වගට ශපථව බලයට ආ පාලකයන් සමග ගැටීමට මෙරට ග්‍රාමීය මානව සමාජය සවිමත් නැත. එහෙයින්ම ඔවුහු අතෝරක් රැවටිලි මැද බලාපොරොත්තු කඩකර ගනිති. මෙවරද සිදුව ඇත්තේ එයම වග වැඩිකල් නොගොස්ම තහවුරු වෙමින් තිබේ.
සිය සාම්ප්‍රදායික වාසභූමි විවිධ මානව අවශ්‍යතා සඳහා භාවිත වීමේ වේදනාවෙන් වන අලි ගම් වදිනුයේ වියරුවෙනි. තද පෑවිල්ලට හසුව ආහාරයට යමක්, බීමට වතුර බිඳක් සොයා විටෙක වන අලි මිනිස් වාසභුමි, වගා බිම් වෙත කඩා වදිනුයේ ජීවිතය ඉල්ලමිනි. මහ පොළොව හා ගැටී දවස සරි කරන ගැමියන් සිය වගාබිම් අකල්හි විනාශ වනු දකිනු රිසි නොවේ. ගැටුම අතරතුර හිසට සෙවණ සදන ගේ දොර වනසන වන අලි වටිනා මිනිස් ජීවිත ද අකල්හි උදුර ගනිති. අලින්ට සිය වගා බිම්, ජනාවාස විනාශ කිරීමට ඉඩ නොහරින මිනිස්සු ඔවුනට තුවක්කු බඳිති. සමහර විට වෙඩි තබති. හක්ක පටස් ගිල්වති. විදුලි රැහැන් අදිති. මේ නිමාවක් නොමැති ඛේදවාචකයකි.
අලි වී, කෙසෙල්, මඤ්ඤෙක්කා, වට්ටක්කා, බඩඉරිඟු ආදි භව බෝග මෙන්ම ගෙවතු ආශ්‍රිතව ඇති පොල්, කොස්, අඹ, පැපොල් ආදිය ද අනුකම්පා විරහිතව අසානාසි කරති. අලි, ඇතුන්ගේ ස්වභාවය නම් ආහාරයට ගන්නවාට වැඩි කොටසක් ඉවත ලෑමය. මෙසේ විනාශ වන්නේ මිනිසුන්ට හෝ අනෙක් සතුන්ට ආහාරයට ගත හැකිව තිබුණු දේවල් ය.
අලි මිනිස් ගැටුම වසරක් පාසා තව තවත් දරුණු වෙමින් සහ රටේ තවත් ප්‍රදේශවලට ද පැතිරෙමින් තිබෙන බව විද්‍යාත්මක අධ්‍යයන ගණාවක් මගින් අනාවරණය වී තිබේ. මේ අනවරත ගැටුම හේතුවෙන් වාර්ෂිකව සිදුවන අලි, මිනිස් මරණ මෙන්ම ඒ හරහා ඇතිවන ආර්ථිකමය සහ සමාජයීය බලපෑම ගණනය කළ නොහැකි තරම්ය.
අලි, ඇතුන් විශාල බුද්ධි මහිමයකින් යුතු වන හෙයින් ඔවුන් සිදුකරන අසානාසිය වැළකීම සහ එම සතුන් එළවා දැමීම පහසු නැත. අලි ඇතුන්ගේ හිරිහැරය මගහැරවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුකරනුයේ මෙම සතුන් අල්ලා වෙනත් කැලෑ ප‍්‍රදේශවලට රැගෙන යාමය. රංචු ගැසී පළවා හැරීමය. නැතිනම් විදුලි වැට ගැසීමය. ඒ කිසිවක් මෙතෙක් ඵලදායක වී නැති වග විද්වත් විශ්ලේෂණය වී තිබේ.
අලි ඇතුන් මිනිස් ජනාවාස වෙත කඩාවැදීමට පාදකව ඇති කාරණා අතර විවිධ මානව අවශ්‍යතා සඳහා වනාන්තර එළිපෙහෙළි වීම ප්‍රධානතම හේතුවක් වග සැලකිය හැකිය. තවත් පසෙකින් යම් ආහාර අහේනියකට මෙම සතුන් මැදිවී ඇති බවද අනුමාන කළ හැකිව තිබේ. අතීතයේ වනාන්තර අභ්‍යන්තරයේ සතුන්ට දිය බීම ආදිය සඳහා පැවැති බොහෝ දිය වළවල්, කුඩා වැව්, පොකුණු ආදිය වත්මනෙහි ගොඩවී විනාශ වීම ද සතුන් ගම්මාන ආක්‍රමණයට හේතුවී ඇති බව පැහැදිලිය.
මෙරට අලි ඇතුන් වෙත ආකර්ෂණය වන විදේශීය සංචාරකයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට ද යම් රුකුලක් මෙම සතුන්ගෙන් සැලසේ. එහෙත් අලි විනාශකාරයන් සේ සලකනු විනා ඔවුන්ගෙන් සිදුවන එවැනි ආර්ථිකමය ප්‍රතිලාභ ගැන කවරෙකු හෝ කතා කරනු අසන්නට නොලැබේ. අතීතයේ වනාන්තර ප්‍රදේශවල අලි ඇතුන් ගමන් ගත් වන මං වෙනම තිබුණු බව සඳහන් වේ. අලි ඇතුන් ජීවත්වන පරිසරයට අනුගතවීම කෙරෙහි දක්වන සංවේදිතාව ඉතා ඉහළ එකකි. අප මින් වසර හැත්තෑ හතකට මත්තෙන් දේශපාලනික නිදහස ලබන විට මෙරට වන ගහනය සමස්ත භුමියෙන් අඩක් ද ඉක්මවා තිබිණි.
දැන් එය සියයට 20 ක් තරම් වූ සීමාවට පැමිණ ඇතැයි කියැවේ. එහෙයින්ම වනාන්තරගතව නිදහසේ සංසරණය වු බොහෝ සත්වයන්ට මිනිස් ජනාවාස ඇසුරට එන්නට සිදුව තිබේ. අලි ඇතුන්ගේ ආක්‍රමණය ද ස්වාභාවික වන සංහාරයේ අනිවාර්ය බලපෑමක් ලෙස වටහා ගත යුතුය. එය මිනිස් වර්ගයා විසින් කළ වරදක් මිසක මේ අහිංසකයන් එහි පංගුකරුවන් නොවන වග වටහා ගත යුතුව ඇත. ස්වාභාවික පරිසරයේ කොළ, දලු, මල්, ගෙඩි ආදියෙන් කුස පුරවාගත් මේ සතුන් මිනිස් ආහාර පරිභෝජනයට අනුවර්තනය වී ඇත්තේ අපගේම නිවැරැදි නොවන චර්යා හේතුවෙනි. මිහිලියගේ සින්නක්කර අයිතිය මානව වර්ගයා උදෙසා පමණක්ය යන මානසිකත්වය ස්වාභාවික උපද්‍රව කළමනාකරණයේ දී බලවත් බාධාවකි. මෙම තත්වය නිවැරැදිව වටහා ගැනීම අලි ඇතුන්ගේ කරදර කළමනාකරණය කිරීමට පහසුවකි.
සත්ව විශේෂඥයන්ගේ දැනුම සහ මෙම සතුන්ගෙන් හිරිහැර විදින ජනතාවගේ අත්දැකීම් ඒ සදහා ඉවහල් කරගත යුතුව පවතී. ලෝකයේ වෙනත් රටවල් මෙවැනි අර්බුද කළමනාකරණයේ දී ගෙන ඇති සාධනීය පියවර සම්බන්ධයෙන් සොයා බැලීම ද ඉතා අගනේය. එසේ නොවන කල්හි සතුනට අනතුරු කිරීම ස්වාභාවික තත්වය බලහත්කාරයෙන් අභිබවා යෑමක් මිසක වෙනකක් නොවේ. මෙම තත්වය නිවැරැදිව වටහා ගතයුතුය. එසේ නොවනතාක් රටට අහිමි වන ආර්ථික සහ සමාජයීය හානිය කවර විශේෂඥයකුට හෝ ගණනය කළ නොහැකි සීමාවකට ගමන් කරනු ඇත. එවිට එවැන්නක් කිරීමට අවසන් අලියා මැරී යන තෙක්ම බලා සිටීමට සිදුවනු නොඅනුමානය.