අයවැය අභියෝග: අපනයන මුල් කරගත් කෘෂිකාර්මික අංශයක්


නෙදර්ලන්තයේ භූමි ප්‍රමාණය, ශ්‍රි ලංකාවේ භූමි ප්‍රමාණයෙන් හරි අඩක් වන නමුත් නෙදර්ලන්තයේ කෘෂි අපනයනවල වාර්ෂික වටිනාකම ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන මෙන් 45 ගුණයක් පමණ වේ. නෙදර්ලන්තයේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝ මිටර් 33,000 පමණ වන අතර ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 62,000 ක් පමණ වේ. නෙදර්ලන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 55-60ක ප්‍රමාණයක් වගා කළ හැකි වන අතර ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය සියයට 40-45ක අගයක් ගනී. 2023 වර්ෂයේ නෙදර්ලන්තයේ කෘෂිකාර්මික භාණ්ඩවල අපනයන වටිනාකම ඇ.ඩොලර් බිලියන 130 ක් වූ අතර ශ්‍රී ලංකාව අපනයනය කළ කෘෂි අපනයනවල වටිනාකම වූයේ ඇ.ඩොලර් බිලියන 2.9 ක් තරම් පහළ අගයකි. කෘෂි අංශයේ නියුතු පිරිස ගත් කළ, නෙදර්ලන්තයේ එම ප්‍රමාණය මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සියයට1.5-2ත් අතර ප්‍රමාණයක් වන අතර ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 25-27 අතර ප්‍රමාණයක් කෘෂි අංශය තුළ සේවා නියුක්තව සිටී. 
ඉහත ගෙනහැර දැක්වූ දත්ත මගින් පෙනීයන මූලික කරුණ වන්නේ ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික අංශය පහළ පලදායීතාවක්, දුර්වල තරගකාරීත්වයක්, සහ ඌණ ගුණාත්මක බවකින් ක්‍රියාත්මක වන බවයි. මේ නිසාම එම අංශය අපනයන වෙළෙඳපොළට විවෘතව ඇත්තේ ඉතාමත්ම සීමිතව වේ. ඒ අනුව ශ්‍රී ලාංකීය කෘෂි අංශයේ පලදායීතාව, තරගකාරීත්වය සහ ගුණාත්මක බව ඉහළ නංවන්නේ නම් එම අංශය මගින් ජාතික ආර්ථිකයට කළ හැකි දායකත්වය ඉතා ඉහළ වේ. 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයට අදාළව පවතින ප්‍රධාන එක් අභියෝගයක් වනුයේ පහළ අපනයන ඉපැයීම් යටතේ දැනට ක්‍රියාත්මක වන කෘෂී අංශය නවීන සහ අපනයානාභිමුඛ එකක් බවට පරිවර්තනය කිරීමට අදාළ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කිරීමයි. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනුයේ ලංකේය කෘෂි අංශයේ වර්තමාන තත්වයට බලපා ඇති ප්‍රධාන හේතු මොනවාද යන්න සහ ඒවා නිරාකණය කිරීමට අදාළව ගතයුතු පියවර මොනවාද යන්න පිළිබදව අවධානය යොමු කිරීම වේ. ඉහත දෑ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ට යම්තාක් දුරකට අවබෝධයක් පැවතියත් යළිත් වරක් එම කරුණු සිහිකැදවීම යහපත් යැයි හැගේ.


කෘෂි අංශය මුහුණ දී ඇති ගැටලු‍ මොනවාද?
ඉඩම් පහළ ඵලදායී කෘෂිකාර්මික කටයුතුවල සිරව පැවතීම

කෘෂි අංශය මුහුණ පා ඇති ගැටලු‍ අතර ප්‍රධාන තැනක් ගන්නේ ලාංකේය කෘෂි අංශය කුඩා ඉඩම් හිමියන්ගෙන් සමන්විතව පැවතීම වේ. පසුගිය දශක කීපය තුළ ගොවිබිමක සාමාන්‍ය විශාලත්වය ක්‍රමිකව පහළ ගොස් ඇත. උදාහරණයක් ලෙස 1981 දි ගොවිබිමක සාමාන්‍ය විශාලත්වය හෙක්ටයාර් 1.1 ක් (අක්කර 2.5 ක් පමණ) වූ අතර එම ප්‍රමාණය 2014 වන විට හෙක්ටයාර් 0.52 දක්වා පහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ දත්තවලින් පැහැදිලි වේ. මෙසේ ගොවිබිම් කුඩා වීම සිදුවීම කෙරෙහි බලපෑ හේතු ගණනාවක් ඇති අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම ඉඩම් අයිතිය සහ බැහැර කිරීමට අදාළව ඇති සමාජීය-සංස්කෘතික සාධක මෙන්ම ඉඩම් අයිතිය/බැහැර කිරීමට අදාළ රෙගුලාසිද බලපා ඇති බව පැහැදිලිය. එවැනි කරුණු පලදායී ඉඩම් භාවිතය කෙරෙහි අහිතකරව බලපා ඇත. එබැවින් කෘෂි කාර්මික ඉඩම්වලට අදාළව ඇති රෙගුලාසි පිළිබඳව නැවත සලකා බැලීමක් අවශ්‍යව ඇති අතර එවැන්නකින් තොරව කෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් ලබා ගැනීමට ඇති හැකියාව, ඉඩම් කුඩා කොටස්වලට විභේදනය වීම, ඉඩම් අයිතියට අදාළ අනාරක්ෂිත තත්වය සහ ඌණ සංවර්ධන මට්ටමේ ඇති ඉඩම් වෙළෙඳපොළ වැනි ගැටලු‍ නිරාකරණය කිරීමේ හැකියාවක් නොමැත. 
එසේම, ඉඩම් පිළිබඳව කටයුතු කරනු ලබන ආයතන අතර සම්බන්ධීකරණයක් කිරීම ද දුෂ්කර වනු ඇත. 1970-80 දශකවල රජයේ ඉඩම් කෘෂි කාර්මික කටයුතු සඳහා නිදහස් කිරීමේ දී මුලික වශයෙන්ම අවධානය යොමු කරනු ලැබුයේ එමගින් ජීවනෝපාය සහිතක කිරීම වන අතර අද වන විට එම අරමුණෙන් ඔබ්බට ගොස් සංවර්ධනය ඉලක්ක කර ගත්තාවූ (development-oriented)  ඉඩම් භාවිතයකට ගමන් කිරීම කළ යුතුව ඇත.  විශේෂයෙන්ම රජයේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ආයතන මගින් රජයේ ඉඩම් කෘෂි කාර්මික කටයුතු සඳහා නිදහස් කරනු ලබන ඉඩම්වලට අදාළව ගැටලු‍ ගණනාවක් පවතින බව නිතර අසන්නට ලැබෙන කරුණකි. එබැවින් ඉඩම් වෙළෙඳපොළ ලිහිල්කරණයකින් තොරව කාර්මික සහ කෘෂිකාර්මික අංශවලට අදාළව ඉඩම් ලබාගැනීම මෙන්ම ඉඩම් පුළුල් කරගැනීම අති දුෂ්කර කටයුත්තක්ව පවතී.Harverd growth lab  මගින් ලාංකේය ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට අදාළව පවතින ප්‍රධාන ගැටලු‍වක් ලෙස ඉඩම් ගැටලු‍ හඳුනා ගන්නා ලදී. අද වනවිට කෘෂිකාර්මික ඉඩම් බොහොමයක්, විශේෂයෙන්ම අර්ධ නාගරික ප්‍රදේශවල, කෘෂි කාර්මික කටයුතුවලින්  බැහැරව මුඩු බිම් ලෙස පැවතීමට හේතුව වී ඇත්තේ ඉඩම් බැහැර කිරීමට අදාළව පවතින සමාජ-සංස්කෘතික සහ නෛතික හේතු මත වේ. මෙම තත්වය  ආපසු හැරවිය යුතු අතර ඉඩම් වඩාත් ඵලදායී ලෙස කෘෂි කාර්මික කටයුතු සඳහා යෙදවීම උනන්දු කළ යුතුව ඇත.


ගුණාත්මක සහ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් පිළිබඳව අඩු අවධානය
වස විසෙන් තොර කෘෂිකර්මයක් ඇති කිරීම සඳහා යම් යම් පියවර ගැනීම පසුගිය කාලයේ දී සිදු වූ නමුත් එම පියවර අනුගමනය කිරීමේ දී නිසි සැලසුමකින් තොරව ක්‍රියාත්මක වීම හේතුවෙන් එවැනි පියවරවල නිසි ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් විය. එනමුත් වසවිසෙන් තොර කෘෂිකර්මයක් සඳහා අප ගමන් කළ යුතුය යන්න පිළිබදව විවාදයක් නැත. ඒ මන්ද යත් අදවන විට සමාජයේ දක්නට ඇති සෞඛ්‍ය ගැටලු‍ බොහොමයක් අපගේ ආහාර රටාව සහ ආහාර අශ්‍රීතව ඇති ගුණාත්මක බව මත රඳා ඇති බව පොදුවේ පිළිගන්නා කරුණකි. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට මෙම ගැටලු‍වට මුහුණ දී ඇති අතර ඒ නිසාම රසායනික පොහොර සහ අනෙකුත් රසායනික අමුද්‍රව්‍ය යොදා කරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන අධෛර්යවත් කිරීම පිළිබඳ අවධානය යොමු කොට ඇත. 
විශේෂයෙන්ම යහපත් කෘෂිකාර්මික භාවිතයන් (good agricultural practices) අනුගමනය කිරීම උනන්දු කිරීම සඳහා විවිධ පියවර ගනු ලැබ ඇත. වර්තමානය වනවිට ගොවීන් විසින් විවිධ ක්‍රියාමර්ග අනුගමනය කරමින් තමන්ගේ නිමවුම් සඳහා ඉහළ මිලක් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කළත් එවැනි ක්‍රියාමර්ගවලින් මහජන සෞඛ්‍යයට ඇතිකරනු ලබන අහිතකර බලපෑම පිළිබඳව අවධානය යොමු කරන්නේ ඉතාමත් අවම වශයෙනි. උදාහරණයක් ලෙස මැතකදී අප විසින් සිදු කරනු ලැබු සමීක්ෂණයක දී පෙනී ගිය කරුණක් වූයේ සමහර ගොවීන් වෙළෙඳපොළේ යහපත් මිලක් ලැබෙන තෙක් තම කෘෂිකාර්මික නිෂ්පාදන විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් අස්වැන්න නෙළීම ප්‍රමාද කරමින් කටයුතු කරන බවයි. ගොවියා විසින් තමන් ලබන ආදායම උපරිම කිරීම පිළිබදව පමණක් අවධානය යොමු කරනු ලැබුවත් එවැනි ක්‍රියා නිසා මහජන සෞඛ්‍යයට ඇති කරනු ලබන බලපෑම පිළිබදව අවධානය යොමු කර නැත. එවැනි ක්‍රියාකාරකම් නිසි අධීක්ෂණයකට ලක්කළ හැකි යාන්ත්‍රණයක් ද මේ වන විට අප සතුව නැත. මෙම ගැටලු‍ ඉක්මනින් ආමන්ත්‍රණය කිරීම අතිශ්‍ය වැදගත් වූවකි.


කෘෂිකාර්මික අංශයේ තාක්ෂණික භාවිතය ඉතාමත් පහළ මට්ටමක පැවතීම
නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකර්මික අංශයේ සංවර්ධනයට අදාළව ඇති ප්‍රධානතම වෙනස වන්නේ තාක්ෂණික භාවිතයන්ට අදාළ වෙනස්කම් වේ. තවමත් ලාංකේය කෘෂි අංශය පහළ සහ ගතානුගතික තාක්ෂණ මත කටයුතු කරනු ලබයි. බොහෝ දෙනා තාක්ෂණය කියු සැනින් ඉන් අදහස් කරනු ලබන්නේ නිෂ්පාදන කටයුතුවලට අදාළව යන්ත්‍රසුත්‍ර භාවිත කිරීම වුවත් සත්‍ය වශයෙන්ම තාක්ෂණික භාවිතය ඉන් ඔබ්බට ගමන් කළයුතු බව අවධාරණය කළ යුතු වේ. තාක්ෂණය යන්නෙන් අදහස් කරනුයේ නිෂ්පාදනය, සැකසීම, බෙදා හැරීම සහ අලෙවියට අදාළව නව්‍ය ක්‍රමවේද භාවිත කිරීම වන අතර එවැනි ක්‍රමවේද නිසා කෘෂිකාර්මික වටිනාකම්දාමය තුළ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිය යුතු වේ. 
මෑත කාලීනව ලෝක බැංකු ආධාර යටතේ කෘෂි නවීකරණ ව්‍යාප්තෘ ගනණාවක් ක්‍රියාත්මක කළ අතර එම ව්‍යාපෘති මගින් ඉඩම් සැකසීම, පැළ සිටවිම සහ නඩත්තුව, පොහොර සහ අනෙකුත් අමුද්‍රව්‍ය භාවිතය, අස්වැන්න නඩත්තුව සහ නෙළීම, අස්වැන්න ඇසුරුම් කිරීම සහ බෙදාහැරීම, අලෙවිය වැනි කෘෂි කර්මික අගයදාමයේ අංශ ගනණාවක් ආවරණය කරමින් නව තාක්ෂණික භාවිතයන් හඳුන්වා දෙනු ලැබිණි. එම ව්‍යාපෘතිය තෝරාගත් බෝගවගා කීපයකට පමණක් සීමා වූ අතර සත්‍ය වශයෙන්ම එම ව්‍යාපෘතිය මගින් උත්සාහ කරනු ලැබුයේ නව තාක්ෂණය එළි දැක්විම පමණි (demonstration of new technology). අනෙක් අතට, වර්මානය වනවිට තොරතුරු තාක්ෂණයේ පිහිටෙන් ගොවීන් විසින් විවිධ නව තාක්ෂණය භාවිතයට හුරුව ඇතත් ඒවා බොහොමයක් නිෂ්පාදන කටයුතු වලට පමණක් සීමා වී පවතී. දැනට හඳුන්වාදී ඇති නව තාක්ෂණය පුළුල්ව ගොවීන් අතර ප්‍රචලිත කිරීම මෙන්ම ගෝලීයව කෘෂිකාර්මික කටයුතුවලට අදාළව භාවිත කරනු ලබන නව ක්‍රමවේද ලංකේය කෘෂිඅංශයට හඳුන්වා දීම සඳහා ඉක්මනින් පියවර ගැනීම කළ යුතුව ඇත. 


පර්‌යේෂණ සහ සංවර්ධනය සඳහා අඩු අවධානය
කෘෂිකාර්මික කේෂ්ත්‍රයට අදාළව පර්යේෂණ ආයතන ගනණාවක් ඇතත් එවායින් කෘෂි අංශයේ ප්‍රගමනයට කෙරෙන දායකත්වය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව කවුරුත් පොදුවේ පිළිගන්නා කරුණකි. විශ්ව විද්‍යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් කෘෂිකාර්මික දැණුම ප්‍රචලිත කිරිම සදහා විවිධ පාඨමාලා පවත්වාගෙන ගියද ඒවා මගින් කෘෂි අංශයේ ප්‍රගමනයට කර ඇති දායකත්වය කුමක් ද යන්න ගැටලු‍ සහගත වේ. විශේෂයෙන්ම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් භෞතික සහ මානව සම්පත් නොමැතිකම හේතුවෙන් අදවන විට කෘෂි අංශයේ ක්‍රියාත්මක වන පර්යේෂණ ආයතන බොහොමයක කටයුතු අඩපණව පවතී. කෘෂි කර්මික අංශයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්තය වාර්ෂිකව ඉහළ මුදල් ප්‍රමාණයක් වැය කරනු ලබන අතර ඊට අමතරව ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නම් දරා ඇති ලෝකයේ ප්‍රධාන පෙළෙ පෞද්ගලික ආයතන ගණනාවක් නෙදර්ලන්තය තුළ තම පර්‌යේෂණ ආයතන පවත්වාගෙන යයි. මේ නිසා පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය විශාල අරමුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ආයෝජන කරනු ලබයි. පර්‌යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇති පහළ ප්‍රමුඛතාව හේතුවෙන් කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීමට ගොවීන් සුදානම් කිරීමට අවශ්‍ය නව තාක්ෂණික සොයා ගැනීම් කිරීම අඩාලව පවතී. 


කෘෂිකාර්මික ප්‍රතිපත්ති විධිමත් ලෙස ක්‍රියාත්මක නොවීම
කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය විධිමත් සහ අඛණ්ඩ ප්‍රතිපත්ති රාමුවක් මත සිදු නොවීම මෑත ඉතිහාසය තුළ දක්නට ලැබූ ප්‍රධාන කරුණකි. විවිධ ආණ්ඩු බලයට පත්වීමත් සමග නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවත් ඒවා ක්‍රියාත්මක වූ බවක් දක්නට නැත. මේ නිසා රටතුළ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික ප්‍රතිපත්තිය කුමක් ද යන්න පිළිබදව ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද අදහසක් නොමැති අවස්ථා ද දක්නට ලැබේ. යුරෝපා සංගමයේ තාක්ෂණික ආධාර යටතේ කෘෂිකාර්මික ප්‍රතිපත්තයක් සැකසීම 2017 වර්ෂයේ දී ආරම්භ වූ අතර එම ප්‍රතිපත්ති රාමුව දැනට ප්‍රකාශයට පත්කර ඇතිමුත් රටතුළ දැනට ක්‍රියාත්මකව පවතින්නේ එම ප්‍රතිපත්ති රාමුවද යන්න පැහැදිලි නැත. එම ප්‍රතිපත්තියේ ඇති සුවිශේෂීභාවය වන්නේ එමගින් සමස්ත කෘෂිකාර්මික අංශය වෙතම අවධානය යොමුකොට සකස් කර පැවතීම වේ. කෙසේ වෙතත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැක්කක් වනුයේ මෙරට කෘෂි අංශය විධිමත් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක නොවිම වර්තමානයේ දී එම අංශය මුහුණ පා ඇති බොහොමයක් ගැටලු‍වලට හේතුවක් වී ඇති බවයි. 
ඉහතින් සදහන් කළ ගැටලු‍ විධිමත් ලෙස ආමන්ත්‍රණය කිරීම සඳහා පියවර ගැනීම වඩාත් ඵලදායී, තරගකාරී සහ ගුණාත්මක කෘෂි අංශයක් ඇති කිරීම සඳහා ඉවහල් වනු ඇත. විශේෂයෙන්ම, ආර්ථික වර්ධනය සහ සංවර්ධනයට අදාළව මෙම අංශයට කළහැකි දායක්ත්වය ඉතා ඉහළ වන අතර අපනයන ඉපැයීම් තිරසාරව වැඩි දියුණු කිරීමට පමණක් නොව ආර්ථිකයේ සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගෙනයාම සඳහා ද කෘෂී අංශයේ දායකත්වය ඉමහත්ය. එබැවින් 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැය තුළ කෘෂි අංශයේ සංවර්ධනයට නිසි අවධානයක් යොමු කිරීම කළ යුතුව ඇත.