අමුණ කැඩී පුරන්වෙන ඇල්පිටියේ වෙල්යාය


 කැඩී ඇති අමුණු


  • පොල්ලේවෙල වෙල්යාය අමුණ මීට වසර කිහිපයකට උඩදී රුපියල් ලක්ෂ දහඅටක් වියදම් කරලා හැදුවත් අද තියෙන්නේ අමුණේ කණු දෙක විතරයි

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ


මෙරටට බත සපයන්නට ඇල්පිටියේ ගොවීහු ද එදා පෙරටම ආහ. ඔවුන් එදා ඇල්පිටියේ සෑම වෙල් යායක්ම අස්වැද්දුවේ එයට උදාහරණයක් සපයමිනි. මේ නිසාම එදා ඇල්පිටියේ වෙල් යායවල් දිස්වූවේ නිලට නිලේ සරු සාර කෙත්වතු ලෙසය. මේ වෙල්යායවලින් එදා මුළු ඇල්පිටියටම ගෙන ආවේ අපූරු සෞභාගයකි. එවන් ඇල්පිටියේ වෙල් යායවල්වලට අද උදවී ඇත්තේ කණගාටුදායක ඉරණමකි.

ඇල්පිටියේ වෙල් යායවල්වලට නොඑසේ නම් කුඹුරුවලට එසේත් නැතිනම් වී ගොවිතැනට එසේවූයේ ඇයිදැයි යන්න කාරණය සොයා බැලීම කාලෝචිත යයි අපි හඟිමු. ඇල්පිටියේ වී ගොවිතැනට මේ තත්වය නිර්මාණය වූයේ නිකම්ම නිකම්ම නොවේ. ඊට අදාළ බලධාරීන්, නිලධාරීන් ද වගකිව යුතුමය. ඇල්පිටියේ කුඹුරු කර්මාන්තය කණ පිට හැරවූයේ ඔවුන්ගේ අඩුපාඩු නිසා බව නොකිව මනාය. ඇල්පිටියේ කුඹුරු කර්මාන්තයට ඔවුනගේ ඇල්මබැල්ම නැතිවීම එසේත් නැත්නම් අඩුවීම මේ ව්‍යසනයට බලපෑ ප්‍රධානතම කාරණාවකි.

මේ නිසාම දෝ එදා ඇල්පිටියේ වෙල් යායවල්වලින් බත සැපයීමට සෘජුවම දායකවූ අමුණු විනාශවී යාම ප්‍රධානතම හේතුවක්වූ බව ඇල්පිටියේ ගොවීහු කියති. ඇල්පිටියේ ප්‍රධානම වෙල් යායවල් හතරකටම ජල සැපයුම පාලනය කළ අමුණු හතරම විනාශවී යාම මෙයට හොඳම උදාහරණය බව ඔවුහු කීහ. මේ නිසාම ඇල්පිටියේ ගොවීන් මෙන්ම වෙල්යායවල් හිමිකරුවෝද දැඩි අසීරුතාවට පත්වී සිටිති. 

ඇල්පිටියේ මේ අමුණු හතරක් කැඩීයාමෙන් වෙල් යායවල් හතරක කුඹුරු අක්කර රැසක් පුරන්වී යාමේ දැඩි අවදානමක් පවතින බව ඇල්පිටියේ වී ගොවීහු කියති.

පොල්ලෙවෙල වෙල්යාය, ගොලු‍වාවල වෙල්යාය, නෙල්ලිගහ කුඹුර වෙල් යාය සහ පහලවෙල මගුරුවල වෙල් යාය මේ අවදානමට ලක්ව ඇති වෙල් යායවල් බවද ඔවුහු පෙන්වා දෙති.

මේ වෙල් යාය වල් හතරේම ජල කළමනාකරණය කිරීමට තිබූ අමුණු හතරම මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බවද ප්‍රදේශවාසීහු කියති. මේ අමුණු කැඩී යාම නිසා සිය ඉඩෝරයකදී නොඑසේ නම් වියළි කාලවලදී සිය වෙල් යායවල්වලට වතුර ගැනීමට නොහැකිවන බවද ගොවීහු කියති. මේ හේතුව නිසා දැන් දැන් ඇල්පිටියේ තමන්ට වී ගොවිතැන එපාවී තිබෙන බවද ඔවුහු කියති.

තමන්ට බලපා ඇති මේ ගැටලු‍ව පිළිබඳව අප සමග ඇල්පිටියේ ගොවීන් මෙන්ම වෙල් යායවල් හිමිකරුවන් කිහිපදෙනෙක්ම කතා කළ අතර එහිදී මුලින්ම කටහඩ අවධි කළ කමලා අම්පෙගම මහත්මිය මෙසේ කීවාය.

මම කතා කරන්නේ පොල්ලේවෙල වෙල්යාය ගැනයි. මේ වෙල්යායේ අමුණට වෙච්චදේ දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි. මේ අමුණ මීට වසර කිහිපයකට උඩදී රුපියල් ලක්ෂ දහඅටක් වියදම් කරලා හැදුවා. අද ඒ අමුණේ තියෙන්නේ කණු දෙක විතරයි. අනෙක් කිසිම දෙයක් එහි නැහැ. මම මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම කිව්වා. මීට කලින් ක්‍රියාත්මක වුණානම් මේ අමුණ සුලු‍ අලු‍ත්වැඩියාවකින් බේරා ගන්න තිබුණා කියලයි මගේ අදහස.

අපි මුලින්ම පෙන්වා දෙන කොට මේ අමුණ පහසුවෙන් ගොඩදාගන්න තිබුණා. දැන් පොල්ලෙවෙල ඇළේ වතුර නිකරුණේ ගලා බසිනවා. අපිට දැන් කුඹුරු කරන්න වෙලා තියෙන්නේ වැසි වතුරෙන් පමණයි. නැත්නම් වතුර නැහැ. පෑයුවොත් කුඹුරු සියල්ලම විනාශ වෙනවා. මේ අමුණේ ප්‍රශ්නය නිසා අපි වෙල්යායම අස්වද්දන්න ගියේ නැහැ. අනෙක් ටික පුරන් වෙවී යනවා. අමුණ තියෙන තැනට දැන් කාටවත් කිට්ටුවෙන්නවත් බැරිවිදිහට වැටවල් ගහලා. මෙහේම ගියොත් ඇල්පිටියේ වීගොවි තැනට දෙවියනගේම පිහිටයි.

එම්. සරත්චන්ද්‍ර: අපිට පුළුවන් ඇල්පිටියට පමණක් නෙමෙයි අහළ පහළ ගම් හතකටම කන්න බත දෙන්න. අපේ ගොවියන් ඊට කම්මැලි නැහැ. එහෙත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ කලට වේලාවට වතුර නැති එක. නිසි කලට වතුර නැතිව කොහොමද ගොවිතැන් කරන්නේ. ඇල්පිටියේ කුඹුරුවල වතුර පාලනය කරනු ලබන ඇනිකට් බොහෝමයක්ම කැඩිලා. ඒවා හදලා දෙන්න කියලා කට කැඩෙනකම් කීවත් පලක් වුණේ නැහැ.

ඇල්පිටියේ කුඹුරුවලට මේ කලදසාව ගිහිල්ලා තියෙන්නේ අදාළ බලධාරීන් නිලධාරීන්ගේ වැරැද්දෙන්. ඒ අය මේ සම්බන්ධයෙන් සොයලා බලන්නේ නැහැ.

එල්. ජී. මහින්ද: ඇල්පිටියේ කුඹුරුවලින් නිසි ප්‍රයෝජනයක් ගන්න නම් මේ කැඩිලා තියෙන අමුණු පිළිසකර කර දිය යුතුමයි. එහි කතා දෙකක් නැහැ. හොඳට පීදීගෙන එන ගොයම පායන කොට වේළිලා යනවා වතුර නැතිව. වැසි වතුර ටික රඳවා ගන්න විදිහක් නැහැ අමුණු නැතිව. වැසි කාලයේ වැසි වතුර ඔහේ නිකම්ම ගලාගෙන යනවා. අමුණු තියේනම් මේ වැසි වතුර පායන කාලයේදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්. සමහර අමුණු නිසි ප්‍රමිතියට නොසෑදීමයි මේ සේරටම මුල. අපි කොච්චර කීවද බලධාරීන්ට, නිලධාරීන්ට මේ ගැන සොයා බලන්න කියලා. ඒත් වැඩක්නම් වුණේ නැහැ.

සුදත් රෝහණ: අමුණුවල ප්‍රශ්නනය නිසාම දැන් බොහෝ අය කුඹුරු කෙරිල්ල අත හැරලා. මෙහෙම ගියොත් දැනට කුඹුරු කරන අයත් කුඹුරු නොකර ඉදීවි. එහෙම වුණොත් ඇල්පිටියේ වි ගොවිතැනට වෙනදේ දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි. අපි අදාළ අයගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන බලලා අපේ වෙල්යාය සඳහා ඇති අමුණු නිසි ආකාරයට පිළිසකර කරලා දෙන්න කියලයි.

අප මේ සම්බන්ධයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසූවිට කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් දැනුම්වත් කරන බවය.