ඉකුත් දින කිහිපය තුළ ආර්ථික සහ සමාජ සිදුවීම් කොටස් වෙළෙඳපොළ කෙරෙහි සියුම් බලපෑමක් කරමින් සිටින වග නිරීක්ෂණය කළ හැකිය. අපරාධ හටගත් ආකාරය සහ සමාජය සහ නීති සංවිධාන දක්වන ලද ප්‍රතිචාර ආයෝජන අංශවල පසුව තුරන් විය හැකි අන්දමේ තාවකාලික අවිනිශ්චිතභාවයක් ඇතිකරන්නට සමත්ව තිබේ.
කෙසේ වෙතත් සුපිරි ආයෝජන සඳහා අලුත් බදු සහන පිරිනැමීමට ආණ්ඩුව සූදානම් බව දැක්වෙන ප්‍රකාශ සමග කිසියම් මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ද පවතී. මෙම සතිය ආරම්භයේ සඳුදා ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 199.71 කින් ඉහළ ගිය අතර එම වාසිය අහිමි කරගැනීම ඊයේ (පෙබ 17) සිදු වූ ගනුදෙනු අවසානයේ දී වාර්තා කෙරිණ. එහි දී බැංකු ඇතුළු ඉසුරුමත් සමාගම්වල මිල දී ගැනීම් බහුල විය. කෙසේ වෙතත් තවමත් විදේශ විකිණීම් සැලකිය යුතු අගයක් බව දැක්වේ. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සීමා කරන්නට ද එය හේතු වී ඇත.
විකිණීමට දක්වන ප්‍රවණතාව සීමා කර වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරගතහොත් වාසිදායක තත්වයක් ඇති වේ. වෙළෙඳපොළ ලාබ ලැබිය හැකි තැනක් බවට විශ්වාසයක් සඳහා පසුබිමක් අවශ්‍යය. සුළු වශයෙන් හෝ පිබිදීමක් සමග ආයෝජනය කළ තම කොටස් විකුණා මුදල් ඉවත් කරගන්නට ගනුදෙනුකරුවන් උත්සාහ කිරීම සුදුසු තත්වයක් නොවේ. පසුගිය දින ගණනාව තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව ඉක්මවා යන තියුණු උත්සාහ ගණනාවක් වාර්තා කළ නමුත් අවසානයේ දී සැලකිය යුතු පසුබැසීමක් සහිතව අවසන් වී තිබේ.
ඊයේ වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,882.82 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 17.29 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,715.70 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 5.37 ක වර්ධනයක් විය. එය ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි තවදුරටත් අවධානයක් දක්වන බව සටහන් කිරීමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.23 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 38,685 ක් වාර්තා වී තිබුණි.
නිරීක්ෂක

