
ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ, උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ.
ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ මිලකට ලබා දීමට United Motors ආයතනය කටයුතු කරයි. නවීන තාක්ෂණයෙන් සන්නද්ධ Destinator රථය වෘත්තිකයන් සහ ව්‍යාපාරික අංශය සඳහා වඩාත් සුදුසු රථයක් වන අතර 163 BHP බලයක් සහ 250 Nm ක ව්‍යාවර්ථයක් (Torque) නිපදවන, ක්ෂණික ප්‍රතිචාර දක්වන 1.5-ලීටර් Turbocharged එන්ජිමකින් බලගන්වා ඇත. මෙය නවීනතම විශේෂාංග රැසකින් සමන්විත, සම්මානලාභී තාක්ෂණ බලගැන්වුණු උසස් තත්වයේ SUV රථයකි.
මෙය නාගරික ගමනාගමනයට මෙන්ම සංචාරක, විනෝද චාරිකා සඳහා ද එකසේ ගැළපෙන අයුරින් නිපදවා තිබේ. එහි ඇති Normal, Wet, Gravel, Tarmac සහ Mud යන ධාවන මාදිලි (Drive modes) පහ මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ග තත්වයකට ගැළපෙන පරිදි රථයේ ක්‍රියාකාරිත්වය උපරිම කර ගැනීමට රියදුරුට අවස්ථාව සලසා දෙයි. මීට අමතරව, ඉහළ බිම් පරතරය සහ ආසියානු කලාපයේ මාර්ගවලට ගැළපෙන පරිදි නිපදවූ ASEAN-tuned suspension පද්ධතිය නිසා ඕනෑම මාර්ගයක උපරිම විශ්වාසයකින් සහ සුවපහසුවකින් යුතුව ගමන් කළ හැකිය.
මෙම රථයේදී ආරක්ෂාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. රියදුරුට සහ මගීන්ට උපරිම සුවපහසුවක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති මෙම රථය, ASEAN NCAP තරු ඉහළම ආරක්ෂිත ශ්‍රේ ණිගත කිරීමෙන් පිදුම් ලබා ඇත. මෙහි ආරක්ෂාව සඳහා SRS වායු බෑග් 6ක් සහ Mitsubishi සමාගමේ දියුණු ආරක්ෂක පද්ධතිය ඇතුළත් කර තිබේ. මෙය Blind Spot Warning (BSW), Rear Cross Traffic Alert (RCTA) වැනි නවීන අංගවලින් සමන්විත ‘Intelligent co-pilot’ තාක්ෂණයෙන් ක්‍රියා කරයි. අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකාරීව දායක වන මෙම පද්ධතිය මගින් ඔබගේ සෑම ගමනකම සුරක්ෂිතභාවය තහවුරු කරයි.
වැඩි ඉඩකඩක් සහිත, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ සුවපහසු අභ්‍යන්තර නිමාව, වැඩිහිටියන් හත් දෙනකුට එකසේ සුවපහසුව සැලසෙන පරිදි පේළි තුනක අසුන් ගැනීමේ හැකියාව මෙන්ම මෙය අතිනවීන ඩිජිටල් පාලන මැදිරියක් ද සහිතව නිර්මාණය කර ඇත. එහි අඟල් 12.3ක පුළුල් ස්පර්ශක තිරය සහ අඟල් 8ක ඩිජිටල් තොරතුරු පුවරුව රියදුරුට පහසුවක් සලසා දෙයි. දර්ශනීය පරිදර්ශක සන්රූෆ් එක, වර්ණ 64කින් වෙනස් කළ හැකි අභ්‍යන්තර ආලෝකකරණය සහ Yamaha Premium ස්පීකර් 8ක ශබ්ද පද්ධතිය මගින් රථය භාවිත කරන්නන්ට සුපිරි ධාවන අත්දැකීමක් ලබාදෙයි. නම්‍යශීලී අසුන් සැකැස්ම, වැඩි ගබඩා ඉඩකඩ සහ ස්මාර්ට් ජංගම දුරකතන ආරෝපණ හැකියාව මෙහි ප්‍රායෝගික බව මනාව විදහා දක්වයි.

