
SLT සමූහය සිය ප්‍රගතියේ ගමන් මග ඔස්සේ පෙරට යමින් සහ ලාබදායීත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ක්‍රමෝපායික පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින්, 2025 සැප්තැම්බර් 30 වැනි දිනයෙන් අවසන් වූ තෙවැනි කාර්තුව සහ වසරේ මුල් මාස 9 තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ මූල්‍යමය අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මූල්‍ය ප්‍රතිඵලවල තිරසාර පරිවර්තනයක් සිදු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටුකරන්නකු ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට සමූහය සමත් වී ඇත.
2025 තෙවැනි කාර්තුවේදී සමූහය සිය ශක්තිමත් කාර්යසාධනය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් රු. බිලියන 2.2 ක බදු පසු ලාබයක් අත්කර ගත් අතර, එය 2024 තෙවැනි කාර්තුවේදී වාර්තා වූයේ රු. බිලියන 1.1 ක් වශයෙනි. මූල්‍ය පිරිවැය අවමවීම, ලාබදායීත්වය සියයට 100.2 කින් ඉහළ යාමට සැලකිය යුතු දායකත්වයක් දක්වා තිබේ.
සමාගම් මට්ටමින් මීට සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් SLT සමාගම ද පෙර වසරේ වාර්තා වූ බදු පසු ලාබය වූ රු. මිලියන 932 මෙම වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 1.4 දක්වා වර්ධනය කරගෙන තිබේ. මෙය සියයට 53 ක වර්ධනයක් වන අතර, මූල්‍ය පිරිවැය පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. Mobitel සමාගමේ ලාබය 2024 තෙවැනි කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 17 ට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී රු. මිලියන 639 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය සියයට 3,660 ක් වැනි දැවැන්ත වර්ධනයකි.
2025 වසරේ පළමු මාස 9 තුළ SLT සමූහයේ බදු පසු ලාබය, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 770 ට සාපේක්ෂව, රු. බිලියන 6.5 ක් දක්වා කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. සමාගම් මට්ටමින් ගත් විට, ී SLT සමාගම රු. බිලියන 4.1 ක බදු පසු ලාබයක් වාර්තා කර ඇති අතර එය 2024 මුල් මාස 9 තුළ වාර්තා වූ රු. බිලියන 1.2 ට සාපේක්ෂව සියයට 238 ක වර්ධනයකි. Mobitel සමාගම සිය පිරිවැටුම ඉදිරියට ගෙන යමින් සහ මූල්‍ය ප්‍රතිසාධනය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් තහවුරු කරගනිමින්, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාබයට සාපේක්ෂව රු. බිලියන 1.7 ක ශුද්ධ ලාබයක් වාර්තා කරගෙන තිබේ.
“මෙම වසරේ මුල් මාස 9 හි මූල්‍ය ප්‍රතිඵල මඟින් ී SLT සමූහයේ ක්‍රමෝපායික පරිවර්තනයේ ශක්තිය සහ කාර්ය මණ්ඩලයේ ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පිළිබිඹු වනවා. අපගේ ලාභදායීත්වය ඉහළ යාම මූල්‍යමය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති අතර, එය නව ආයතනික පාලනයක, වඩාත් තියුණු ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීමේ ප්‍රයත්නයක සහ රටේ ප්‍රගතියට දායකවීම සඳහා වන නොසැලෙන කැපවීමක ලකුණු පෙන්නුම් කරනවා. මේ ආකාරයට පැහැදිලි අරමුණකින් සහ ශික්ෂණයකින් යුතුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගැන්වීමට ලැබීම අපට ගෞරවයක්.” SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.
SLT සමූහය 2025 තෙවැනි කාර්තුවේදී සිය ශක්තිමත් මූල්‍ය ගමන්මඟේ අඛණ්ඩව ඉදිරියට යමින්, සමූහ මට්ටමේ මෙහෙයුම් ලාබය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 18.6 කින් වර්ධනය කරගෙන තිබේ. ී SLT සමාගම් මට්ටමේ මෙහෙයුම් ලාබය සියයට 0.1 ක් වැනි සුළු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, Mobitel සමාගම පෙර කාර්තුවල වාර්තා වූ පරිවර්තනයේ ප්‍රතිඵල ඔස්සේ වඩාත් ඉහළ ප්‍රගතියක් වාර්තා කරගනිමින් සිය මෙහෙයුම් ලාබය මිලියන 897 සිට රු. මිලියන 1,184 දක්වා සියයට 32 කින් වර්ධනය කරගෙන ඇත.
සමූහයේ බදු පෙර ලාබය 2024 තෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 93 කින් ඉහළ ගොස් ඇති අතර, ශුද්ධ ලාබය ද ඒ හා සමාන ගම්‍යතාවක් පෙන්නුම් කරමින්, පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 100 කින් ඉහළ ගොස් තිබේ. Mobitel සමාගමේ බදු පෙර ලාබය සියයට 125 කින් ඉහළ ගොස් රු. මිලියන 1,039 ක් ලෙස වාර්තා වී ඇත.
2025 තෙවැනි කාර්තුව සඳහා සමූහයේ ආදායම රු. බිලියන 29.5 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 3.3 ක වර්ධනයකි. සමාගම් මට්ටමින් SLT සමාගමේ ආදායම සියයට 1.7 කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෝඩ්බෑන්ඩ් සේවා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා සහ ව්‍යාපාර ආදායම් සේවා යන අංශවල වර්ධනය ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
Mobitel සමාගමේ කාර්ය සාධනය, වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස අඛණ්ඩව පැවතුණු අතර, එහි ආදායම රු. මිලියන 11,651 සිට රු. මිලියන 12,115 දක්වා සියයට 4කින් ඉහළ ගොස් ඇත. මෙම යහපත් ප්‍රතිඵල මගින් පැහැදිලි වන්නේ, විශේෂයෙන්ම දත්ත සේවා සහ ජාල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වෙළෙඳපොළේ Mobitel සතු පිළිගැනීම සහ එම සේවා සාර්ථක ලෙස සැපයීම සඳහා සමාගම සතු හැකියාවයි.
සමූහයේ පිරිවැය ප්‍රශස්තකරණ ක්‍රමෝපාය එහි ලාබදායීත්වය වර්ධනය කරගැනීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කළේය. 2025 තෙවන කාර්තුව සඳහා සෘජු පිරිවැය සමූහ මට්ටමින් සියයට 3.8 කින් සහ SLT සමාගම් මට්ටමින් සියයට 5.8 කින් පහළ ගිය අතර, කාර්යක්ෂමතා විධිවිධාන ඔස්සේ මෙහෙයුම් පිරිවැය සියයට 2.5 කින් අවම කරගනිමින් පිරිවැය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට Mobitel සමත් විය.

