SLITA Campus වෙතින් ඩිප්ලෝමාධාරීන් 596 දෙනකුට සහතික


ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලු‍ම් ආයතනය (SLITA) යටතේ ක්‍රියාත්මක වන SLITA Campus හි ඩිප්ලෝමාධාරීන් 596 දෙනකුට ඩිප්ලෝමා සහ උසස් ජාතික ඩිප්ලෝමා සහතික පිරිනැමීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණි. 
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වෘත්තිකයන් බිහිකරන ප්‍රමුඛතම රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලු‍ම් ආයතනය (SLITA) හඳුනාගෙන තිබේ. 
2009 අංක 12 දරන පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලු‍ම් ආයතනය, ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තයක් වන ඇඟලු‍ම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය දක්ෂ උපාධිධාරීන් සහ තාක්ෂණික වෘත්තිකයන් පුහුණු කරන විශිෂ්ටතම මධ්‍යස්ථානයකි.


අධ්‍යාපනය, නවෝත්පාදනය, පර්යේෂණ සහ විශිෂ්ටත්වය ඔස්සේ මෙරට ඇඟලු‍ම් කර්මාන්තයේ අනාගතය සවිබල ගැන්වීම මෙම ආයතනයේ ප්‍රධාන අරමුණයි. 
මෙහිදී අදහස් දැක් වූ තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලු‍ම් ආයතනය ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ අධ්‍යාපනික ආයතනයක් ලෙස ජාත්‍යන්තර මට්ටමකට පත්වෙමින් ඇඟලු‍ම් කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකරමින් එම ක්ෂේත්‍රයට අවශ්‍ය නිපුණ මානව සම්පත බිහි කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකරන බව පැවසුවාය.
දේශීය හා ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව කෙටි පාඨමාලා, සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා රැසක් ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලු‍ම් ආයතනය විසින් පවත්වනු ලැබේ.