NDB බැංකුව සෙලාන් බැංකුවේ ආයෝජනයෙන් ඉවත් වෙයි


  • අලෙවි කෙරුණු සමස්ත කොටස් සංඛ්‍යාව මිලියන 26ක් 
  • එම කොටස් අතරින් මිලියන 12ක් රෙනෝ සිල්වා මිලදී ගනී  
  • රෙනෝ සිල්වා සතු සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය සියයට 10ක් වෙයි 

භානුක අමරසිංහ 


ජාතික සංවර්ධන බැංකුව (NDB) සෙලාන් බැංකුවෙහි පවත්වාගෙන ගිය සියයට 8.72 ක කොටස් හිමිකාරීත්වයෙන් ඉවත් වීමට කටයුතු කළ බව පවසයි. ඒ අනුව NDB බැංකුව සතුවූ සෙලාන් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 26,631,495 ක් අලෙවි කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගෙන තිබේ. 

එක් කොටසක් රුපියල් 104 ක මුදලකට මෙම අලෙවිය සිදු කර ඇති අතර, එම අලෙවියේ සමස්ත වටිනාකම රුපියල් 2,769,675,480ක් (රුපියල් බිලියන 2.77ක්) ලෙස සටහන්ව තිබේ. 

බැංකුව පවත්වාගෙන ගිය උපායමාර්ග නොවන ආයෝජනවලින් ඉවත් වීමේ උපායමාර්ගික තීරණයකට අනුව මෙම තීරණය ගත් බව NDB බැංකුව වැඩිදුරටත් පවසයි.  

NDB බැංකුව සඳහන් කරන ආකාරයට මෙම කොටස් වෙළෙඳපොළේ අලෙවි කෙරී තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට මෙලෙස NDB අලෙවි කළ සෙලාන් බැංකුවෙහි කොටස් අතරින් කොටස් මිලියන 12 ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රෙනෝ සිල්වා මහතා විසින් කටයුතු යොදා තිබේ.

එහිදී ඔහුගේ Phantom Investments Ltd නම් ආයෝජන සමාගම හරහා මෙම කොටස් මිලියන 12 මිලදී ගෙන ඇති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 4 ක ප්‍රතිශතයකි. 

එසේම ​ෙකාටසක් රුපියල් 104ක් බැගින් එම ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 1.2 කට අධිකය.  

මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිටත්  Phantom Investments Ltd සමාගම සතුව සෙලාන් බැංකුවේ සියයට 4.59 ක සහ සියයට 0.86 ක ලෙස සියයට 5.45 කකොටස් හිමිකාරීත්වයක් පැවතුණි. 

ඒ අනුව මේ වනවිට සෙලාන් බැංකුවේ රෙනෝ සිල්වා මහතා සතු කොටස් හිමිකාරීත්වය සියයට 10ක් දක්වා ඉහළ නැග තිබේ. අද වනවිට මෙම Phantom Investments Ltd නම් ආයෝජන සමාගම සතුව සම්පත් බැංකුවේ සියයට 10ක් සහ කොමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ පිළිවෙළින් සියයට 2ක් ලෙස කොටස් පවතී.