HNB රු.බි. 10ක තිරසර බැඳුම්කරය 09 දා විවෘත කෙරේ


භානුක අමරසිංහ


හැටන් නැෂනල් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන රුපියල් බිලියන 10ක් වටිනා තිරසර බැඳුම්කරය ලබන දෙසැම්බර් 09 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව බැංකුව පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි, ජ්‍යෙෂ්ඨ තිරසර බැඳුම්කරයක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. පසුගියදා කොටස් හුවමාරුවේ අනුමැතිය මේ සඳහා හිමිව තිබේ. 
මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 5 කි. ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් තිරසර බැඳුම්කර කොටස් මිලියන 50ක් නිකුත් කරන බව බැංකුව පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් මිලියන 100 හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 10කි. 
මෙම බැඳුම්කරය Type A සහ Type B ලෙස වර්ග කෙරී තිබේ. Type A වසර පහකින් කල් පිරෙන ලෙස සියයට 10.25ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වන අතර, Type B වසර හතකින් කල් පිරෙන ලෙස සියයට 11.00ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වන බවත් බැංකුව පවසයි.