සභාපති ජේ. දුරෙයිරත්නම්
අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා
DFCC බැංකුව 2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සිය ශක්තිමත් ශේෂ පත්‍රය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ඔස්සේ අත්කරගත් ප්‍රගතිය විදහා දක්වමින්, විධිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත.
සමූහ මට්ටමින් ගත් කල, DFCC බැංකුව සිය මූලික ව්‍යාපාරික කටයුතු මගින් රුපියල් බිලියන 1.8 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින සියයට 16.092 ක මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් පවත්වා ගැනීමට ද සමත් විය. ණය සහ තැන්පතු අංශවල අඛණ්ඩ වර්ධනය හේතුවෙන් සමූහයේ මුළු වත්කම් සියයට 3කින් ඉහළ ගොස් රුපියල් බිලියන 885 ක් ලෙස සටහන් විය. 2025 දෙසැම්බර් 31 දිනට සාපේක්ෂව බැංකුවේ ණය කළඹ සියයට 5 කින් සහ තැන්පතු සියයට 7 කින් වර්ධනය වී ඇති අතර, මෙය බැංකුව කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති නොසැලෙන විශ්වාසය සහ විධිමත් ව්‍යාපාරික ව්‍යාප්තිය මනාව පිළිබිඹු කරන්නකි.
සාර්ථක අරමුදල් පිරිවැය කළමනාකරණය සහ ණය කළඹේ වර්ධනය හේතුවෙන් ශුද්ධ පොලී ආදායම සියයට 12 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.3 ක් ලෙස වාර්තා විය. මීට අමතරව, වෙළඳ කටයුතු ආශ්‍රිත කොමිස් ආදායම්, කාඩ්පත් සේවා සහ ක්‍රෙඩිට් කාඩ්පත් කළඹ අඛණ්ඩව පුළුල් වීම හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම සියයට 34ක ඉහළ වර්ධනයක් අත්කර ගනිමින් රුපියල් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගෝලීය සහ දේශීය වශයෙන් පවතින භූ දේශපාලනික අවිනිශ්චිතතාවන් සහ සාර්ව ආර්ථික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, DFCC බැංකුව මෙම කාර්තුව තුළ සිය හානිකරණ ප්‍රතිපාදන ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. මෙම විචක්ෂණශීලී ප්‍රවේශය හේතුවෙන් හානිකරණ ගාස්තු ඉහළ ගියද, ණය අයකර ගැනීම් සහ ණය කළඹේ සමබර වර්ධනය හේතුවෙන් 2025 දෙසැම්බර් 31 දින සියයට 4.55ක්ව පැවති තෙවන අදියරේ අකර්මන්‍ය ණය අනුපාතය සියයට 4.18 දක්වා අඩු කර ගැනීමට බැංකුව සමත් විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය, "2026 පළමු කාර්තුව තුළ DFCC බැංකුව ලැබූ ජයග්‍රහණ, ශීඝ්‍රයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරය තුළ අප අනුගමනය කළ විධිමත් ප්‍රවේශයේ ප්‍රතිඵලයකි. බැංකුවේ දීර්ඝකාලීන ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් හානිකරණ ප්‍රතිපාදන සැලසුම් සහගතව ඉහළ නැංවීම හේතුවෙන් ලාභදායිත්වයේ යම් මධ්‍යස්ථ වීමක් දක්නට ලැබුණද, මූලික ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කිරීම, උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාවට නැංවීම සහ මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම පිළිබඳව අප නිරන්තරයෙන් අවධානය යොමු කර සිටිනවා."
මෙම කාලසීමාව තුළ DFCC බැංකුව ශ්‍රී ලංකාවේ Standard Chartered බැංකුවේ ධන කළමනාකරණ සහ පුද්ගල බැංකුකරණ මෙහෙයුම් අත්පත් කර ගැනීමේ උපායමාර්ගික කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන ගිය අතර, එම සේවාවන් ඒකාබද්ධ කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන්ම, රුපියල් බිලියන 10ක Basel III අනුකූල GSS+ බැඳුම්කර නිකුතුවක් සාර්ථකව අවසන් කරමින් බැංකුව සිය තිරසාර මූල්‍යකරණ න්‍යාය පත්‍රය තවදුරටත් තහවුරු කිරීමට සමත් විය.

