CEO Of the Year 2025 සම්මාන උළෙලේදී මැලිබන් සමූහ සභාපතිනියට විශිෂ්ට සම්මානයක්



ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රය ගෝලීය විශිෂ්ටත්වය කරා මෙහෙයවීම වෙනුවෙන් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, 2025 වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී (CEO of the Year Awards 2025) සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක්විය. මැලිබන් ආයතනයේ මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ව්‍යාප්තිය සහ දේශසීමා ඉක්මවා යන සන්නාම ප්‍රතිරූපයක් ගොඩනැගීම වෙනුවෙන් ඇය ඉටුකළ සුවිශේෂී කාර්යභාරය මෙම සම්මානයෙන් ඇගයීමට ලක්විය. දේශීය තරුණ පරපුරට අත්වැලක් වෙමින් සහ ජාතික අභිමානය පෙරදැරි කරගනිමින් ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමට ඇය දක්වන කැපවීම මෙම ගෞරවනීය ඇගයීමට ප්‍රධාන හේතුවක් විය.

නිෂ්පාදන පෙළ විවිධාංගීකරණය කරමින් සහ අපනයන වෙළෙඳපොළ ජයගැනීම හරහා මැලිබන් සමූහය නව මාවතකට අවතීර්ණ කරවීමට ඇය ලබාදුන් නායකත්වය සුවිශේෂී වේ. පරම්පරාගත ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, සන්නාමයේ ගෝලීය අනන්‍යතාව තහවුරු කිරීමට ඇය සමත් වී ඇත.

ඇයගේ නායකත්වය යටතේ සනිටුහන් වූ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ, Reliance Retail Ventures හි FMCG අනුබද්ධිත ආයතනයක් වන Reliance Consumer Products Ltd සමඟ ඇති කරගත් සහයෝගීතාවයි. මෙම සහයෝගීතාව හරහා Reliance සමාගමේ පුළුල් වෙළෙඳ සබඳතා භාවිත කරමින්, ඉන්දියානු පාරිභෝගිකයා වෙත සමීප වීමටත්, එම දැවැන්ත වෙළෙඳපොළ ජය ගැනීමටත් මැලිබන් සමාගමට මාවත විවර විය. කලාපීය ව්‍යාප්තියේ උපායමාර්ගික ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර තලයේ දැවැන්තයන් සමග තරග කිරීමට ඇති මැලිබන් සන්නාමයේ දූරදර්ශීභාවය මෙමගින් යළිත් තහවුරු විය.

ක්‍රීඩා අනුග්‍රාහකයකු ලෙස පමණක් නොව, තරුණ දක්ෂතා නගාසිටුවන සක්‍රීය සහකරුවකු ලෙස මැලිබන් ආයතනයේ නාමය ඉහළින්ම රැඳවීමට ඇයගේ නායකත්වය ඉවහල් විය. නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායමේ සුවිශේෂී ශ්‍රී ලංකා සංචාරයට මෙන්ම, මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ යෙවාන් ඩේවිඩ් වැනි නැගී එන දක්ෂතා බලගැන්වීමට පෙරමුණ ගනිමින් ඇය මුළු මහත් ජාතියම දිරිමත් කිරීමට සමත්ව ඇත. 

මෙම සම්මානය හරහා මැලිබන් ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ලාංකේය සන්නාමයක් ලෙස තම අනන්‍යතාව යළිත් සනාථ කර ඇත. නිෂ්පාදන විශිෂ්ටත්වයට අමතරව, ක්‍රීඩාව ඔස්සේ මීළඟ පරපුරේ අනාගතය සවිබල ගැන්වීමට සහ නව අවස්ථා උදාකර දීමට ද සමාගම පෙරමුණ ගෙන සිටී.