2026 අය වැය ඉදිරිපත් කරන්නට කලින් කොටස් මිල දී ගැනීම


අය වැය යෝජනා මගින් ඇති විය හැකි පසුබිම සලකා පූර්ව මිල දී ගැනීම් අද දිනයේ අපේක්ෂා කළ හැකිය. පසුගිය දින කිහිපය තුළ ලාබ ඉපැයීමේ උච්ඡාවචන කිහිපයක් පැවැති අතර එහි ප්‍රතිපලය සමග කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ස්ථාවර තැනකට පැමිණෙනු ඇති බවක් සැලකේ. 2026 අය වැය වාසිදායක ආදායම් තත්ව සමග ඉදිරිපත් කරන බවක් නිරීක්ෂණය කළ හැකිය. ආයෝජනයට ඉඩ දෙන අලුත් අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි අනුමාන කරන පිරිස් කොටස් මිල දී ගැනීම සඳහා යුහුසුළුවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආයෝජන සඳහා ඉඩ සැපැයිය යුතු බවට කරුණු දක්වා ඇති අතර මෑත කාලය තුළ සිදුවූ විදේශ විකිණීම් වෙනුවට මිල දී ගැනීමේ ප්‍රවණතාවකට ඉඩ තිබේ. විනිමය අනුපාතිකය හැසිරෙන ආකාරය සලකා බලන පසු කොටස් වෙළෙඳපොළ විදෙස් ආයෝජන සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ උනන්දුවක් දක්වන්නට ඉඩ තිබේ.

ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 23,112.48 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 158.99 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,310.26 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 60.98 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 6.06 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 30,822 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 187.0 ක් විය. සමාගම් 133 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 122 කි. 

දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 321.9 ක් වූ අතර විකිණීම් රු. මිලියන 360 කි. විදේශ ගනුදෙනුවල බරපතළ අවාසි තරමක් අඩු වූ බවක් සනිටුහන්ය. සන්ෂයින් හෝල්ඩිං කොටසකට ශත හැටක ලාභාංශ ප්‍රකාශයට පත් කරයි.

කොළඹ ඩොක්යාඞ් රු. මිලියන 461 ක්, ලාෆ් ගෑස් රු. මිලියන 303 ක්, ගාෆ් ගෑස් සී රු. මිලියන 265 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 260 ක් ආදී වශයෙන් වැඩිම පිරිවැටුමක් දැක්විය. 

නිරීක්ෂක