2025 ලෝක අලෙවිකරණ සමුළුවේ නිල බැංකු සහකරු ලංකා බැංකුව


ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන ලද ‘2025 ලෝක අලෙවිකරණ සමුළුව‘ පසුගිය දා ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි. ආසියානු අලෙවිකරණ සම්මේලනයේ (AMF), ආසියානු සුළු පරිමාණ ව්‍යාපාර සම්මේලනයේ (ASBF) සහ ලෝක අලෙවිකරණ සංසදයේ (WMF)  නියෝජිතයන් ඇතුළුව රටවල් 40ක නියෝජිතයන් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව අත්වැල් බැඳ ගැනීම විශේෂත්වයකි.
නොවැම්බර් 13 වැනි දා පැවති මෙම සමුළුවේ දෙවැනි දිනයේ දී ප්‍රධාන දේශනය පැවැත්වූ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා, ‘ජාතික නිපුණතා සහ වර්ධනය මෙහෙයවන ප්‍රධාන බලවේගය වන්නේ අලෙවිකරණයයි’ යන තේමාව යටතේ සිය දේශනය කළ අතර, ඔහුගේ දේශනයේ දී, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, නවෝත්පාදන අලෙවිකරණය සහ තරගකාරිත්වය ජය ගැනීමට අලෙවිකරණ ක්ෂේත්‍රය ඉටු කරන අතිශය වැදගත් කාර්යභාරය පිළිබඳව අවධාරණය කළේය.
ගෝලීය වශයෙන් ප්‍රශස්තම උපායමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආයෝජකයන් හා වෘත්තිකයන් සඳහා නව අවස්ථා විවෘත කිරීමට මෙම සමුළුව වටිනා වේදිකාවක් නිර්මාණය කළ අතර, එහි දී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය අධ්‍යයන ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු කිරීම විශේෂත්වයක් විය.