2025 තානාපති කුසලාන තරගාවලියේ එක්සත් බව සහ සාමුහිකත්වයට CICT අනුග්‍රහය


කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) හා කොළඹ විශ්වවිද්‍යාලයේ සහයෝගීතාවෙන් පැවැති ‘2025 තානාපති කුසලාන’ තරගාවලිය, ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල 11ක, බැඩ්මින්ටන් ක්‍රීඩකයන් 300කට ආසන්න සංඛ්‍යාවක් එක් කළේය. මෙම තරගාවලිය වසරේ විශාලතම, එක්සත් භාවයෙන් පූර්ණ අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උත්සවවලින් එකක් බවට පත්විය.
අඛණ්ඩව තෙවැනි වරට පැවැත්වූ තානාපති කුසලාන තරගාවලියට කාර්ය මණ්ඩල ක්‍රීඩකයන් 170 ක්, කාර්ය මණ්ඩල ක්‍රීඩිකාවන් 70 ක්, ශිෂ්‍යයන් 30 ක් සහ ශිෂ්‍යාවන් 20 ක් සහභාගී වූ අතර, එමගින් තාරුණ්‍යයෙන් මෙන්ම අත්දැකීම් හා විවිධත්වයෙන් පිරි උද්‍යෝගී ක්‍රීඩා වටපිටාවක් නිර්මාණය විය. දින තුනක් පුරා පැවති තරගකාරී ක්‍රීඩා මාලාව අවසානයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත් අතර, සමස්ත ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලය දිනා ගන්නා ලදී.
කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යායාම ශාලා සංකීර්ණයේ පැවති ‘‘2025 තානාපති කුසලාන” තරගාවලියට කොළඹ සහ පේරාදෙණිය සිට රුහුණ, මොරටුව සහ ඌව වෙල්ලස්ස දක්වා සියලු පළාත්වල විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් සහභාගී වෙමින්, තරගාවලියේ පුළුල් පරාසය ඉස්මතු කළේය. මෙම තරගාවලිය විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම කාර්ය මණ්ඩලයද එකමුතු කරන වේදිකාවක් ලෙස හැඳින්විය යුතුයි.
මිනිසුන් සම්බන්ධ කරන ආකාරය ක්‍රීඩාවේ අන්තර්ගත සැබෑ වටිනාකමයි, CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා පැවසීය. වරාය මෙහෙයුම් මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවද, කණ්ඩායමක් ලෙස කාර්ය ඉටුකිරීම, විනය සහ නිරවද්‍යතාව මත රඳා පවතී. මෙවැනි මුලපිරීම්වලට සහාය වීමෙන් එම සාරධර්ම ඊළඟ පරම්පරාව සමග බෙදා ගැනීමටත්, සියලු දෙනා සමග එක්ව සාමූහිකත්වයේ ප්‍රගතිය සැමරීමටත් අපට හැකි වනවා.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහ චීන ව්‍යවසාය අතර වැඩි සම්බන්ධතාවක් පිහිටුවීම යෝජනා කළ එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ තානාපති කුසලාන තරගාවලිය 2023 දී ප්‍රථම වරට සංකල්පනය කරන ලදී. ක්‍රීඩාවට ඇලුම් කරන ශාස්ත්‍රීය හා ආයතනික ප්‍රජාව එක් කෙරූ මෙම තරගාවලියට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වැන්ග් ලී මහතා විසින් පහසුකම් සපයන ලද අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුමැතියද ලැබුණි.
චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන CICTහට මෙම තරගාවලිය අනුග්‍රාහකත්වයකට පමණක් සීමා නොවෙයි. එය තරුණ සංවර්ධනය සහ එක්සත්භාවය වෙනුවෙන් සමාගම තුළ ඇති පුළුල් කැපවීම සමග අත්වැල් බැඳ ඇත. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ රෝද පුටු ටෙනිස් වැඩසටහන වෙනුවෙන් සමාගම ලබා දෙන දිගුකාලීන සහයෝගයද එම කැපවීම තහවුරු කරන තවත් අංගයකි. පසුගිය දශකය පුරා පවත්වා ගෙන යන එම හවුල්කාරිත්වය, අනුවර්තක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයකු ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමටද දායක වී ඇත.