(අංජුල මහික වීරරත්න)

මේ වනවිට ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන්රථ 319ට අමතරව තවත් ගිලන්රථ 100ක් ලබාදීමට ඉන්දියානු රජය කටයුතු කරමින් සිටින අතර, එම වැඩපිළිවෙළ මේ වනවිට අවසන් අදියරේ පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (31) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඉන්දියානු රජය හා ජනතාවගේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් 2016 ජූලි 28 වැනි දින ගිලන් රථ 88කින් ආරම්භ වූ 1990 සුව සැරිය ගිලන් රථ සේවය, නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිචාර සේවාවක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. අද වන විට ගිලන් රථ 319කින් සමන්විත ජාතික හදිසි ප්‍රතිචාර සේවාවක් ලෙස එය දිවයින පුරා ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබේ.

පසුගිය දස වසර තුළ 1990 සුව සැරිය කාර්ය මණ්ඩලය මිලියන 10කට අධික හදිසි දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින්, මිලියන 2.6කට අධික හදිසි අවස්ථාවන්හිදී රෝගීන් වෙත කඩිනම් ජීවිතාරක්ෂක සේවාව ලබාදී ඇත. පැය 24 පුරා, සතියේ දින හතම, වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම සේවාව, හදිසි ප්‍රතිකාර අවශ්‍ය ජනතාවට බලාපොරොත්තුවේ පළමු නැවතුම බවට පත්ව ඇත.