(සුජිත් හේවාජුලිගේ)

පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම ඒකකය පවත්වාගෙන යෑම වෙනුවෙන් 2023- 2025 අතර කාලයේදී රුපියල් කෝටි 16ක පමණ මුදලක්ද උපදේශකයන් වෙනුවෙන් රුපියල් දහනව කෝටි තිස් ලක්ෂයක මුදලක්ද වැය කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන ඒකකය නමින් 2023 වසරේදී මෙම ඒකකය මුලින්ම ආරම්භ කර තිබුණද 2024 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වාද එහි අරමුණු ඉටුකර ගැනීමට නොහැකිව පැවතිණ. මේ අනුව 2025 වසරේ නොවැම්බර් මස 04 වැනිදා කැබිනට් අනුමැතිය මත මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය නමින් නම පමණක් වෙනස් කර ඒ කටයුතුම පවරාදී තිබිණ.

මේ කටයුතු සඳහා උපදේශකයන් සම්බන්ධ කරගෙන තිබුණේ ගිවිසුම් ගත විදේශීය ආයතන දෙකකිනි.

මෙම තොරතුරු සඳහන් වන්නේ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.