(චමිලා අල්විස්)

හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල  වංගු ප්‍රදේශයේ අද (19) අලුයම 2.30ට පමණ  යතුරුපැදියක් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක ගැටීමෙන්  තරුණයන් දෙදෙනකු මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 සහ 17 වන  දිල්ෂාන් මදුසර සෙනෙවිරත්න සහ උදීෂ් සිත්මින යන පන්නිපිටිය හා කිරිවත්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

ඔවුන් හොරණ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවද පොලිසිය පවසයි. මූලික විමර්ශනවලට අනුව, හොරණ දෙස සිට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය කනන්විල වංගුව ගැනීමේදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව දකුණු මංතීරුවට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක ගැටී ඇති බවට සැක කෙරේ.

අනතුරින් යතුරුපැදියටද බරපතළ හානි සිදුව තිබිණි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (19) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.