(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එන්ඩීබි (NDB) බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව හඳුනාගැනීමට අභ්‍යන්තර විගණන කමිටුව, බාහිර විගණන ආයතනය, අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ ඇයි දැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකු ප්‍රධානින්ගෙන් ප්‍රශ්න කර ඇත.  

කාරක සභාව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත් 05 වැනිදා රැස්විය.

වංචාව NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව   පෙන්වා  දුන්නේය.

බැංකුවල අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සහ විගණන කමිටුවල වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

වංචනික ක්‍රියාවලිය සිදුවන කාලසීමාවේදී එවැනි අසාමාන්‍යතා පිළිබඳව කිසිදු කරුණක් මතු කර නොතිබූ බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීහු  කාරක සභාවට පැවැසූහ.

වංචාව සිදුවූ කාලසීමාවේ සිටි විගණන කමිටුව තවදුරටත් එම කටයුතුවල නිරත වීම මෙන්ම  ඔවුන්ම තමන් ගැනම  විමර්ශන  කිරීම ගැටලුකාරී තත්වයක් බව කාරක සභාව පෙන්වා දෙන ලදී. එමෙන්ම, බාහිර විගණන කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද කාරක සභාව  අවධාරණය  කළේය

බැංකු විසින් අනුගමනය කරනු ලබන යල් පැනගිය ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සියලුම බැංකු සඳහා පොදු වූ අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද  කාරක සභාව විසින්  පෙන්වා දෙන ලදී.

ඉදිරියේදී මෙවැනි වංචා වැළැක්වීමත්, සමස්ත බැංකු ක්ෂේත්‍රයේම සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්ෂණික පද්ධති හඳුන්වා දීමේ අවශ්‍යතාවද  සදහන් කෙරිණි.

වංචා කළමනාකරණය සඳහා නව තාක්ෂණික රෙගුලාසි පැනවීම පිළිබඳවද කාරක සභාව මහ බැංකු නිලධාරීන්ගෙන් විමසීය. බැංකුවල වංචා කළමනාකරණ පද්ධති  වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීමට මහ බැංකුවේ අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව  නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.