ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සිය තරඟාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ සැලැස්ම ක්‍රියාත්මක කළහොත්, ලෝක කුසලාන තරඟාවලි වර්ජනය කිරීමට යුරෝපීය පාපන්දු සංගමයේ සාමාජික රටවල් 55ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.
ලෝක පාපන්දු ක්‍රීඩාව අධීක්ෂණය කරන FIFA ආයතනය විසින් මෙම සතිය මුලදී නිවේදනය කරන ලද යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද හදිසි රැස්වීමකදී මෙම තීරණය ගන්නා ලදී.
උතුරු සහ මධ්‍යම ඇමරිකාවේ පාපන්දු ක්‍රීඩාව පාලනය කරන සහ මෙවර ලෝක කුසලාන තරඟාවලියට සත්කාරකත්වය දැක්වූ Concacaf සංවිධානය පැවසුවේ, බ්‍රහස්පතින්දා පැවති රැස්වීමකින් අනතුරුව FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තම සාමාජික සංගම් 41 විසින් "ප්‍රතික්ෂේප" කළ බවයි.
Concacaf කලාපයට අයත් රටවල් ඉන්ෆැන්ටිනෝ කෙරෙහි තබා තිබූ විශ්වාසය ද ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
යුරෝපීය පාපන්දු ක්‍රීඩාව පාලනය කරන UEFA සංවිධානය, මෙම තිරණයට දැඩි විරෝධය පළ කරන ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමෙන් සිය ස්ථාවරය මීට පෙරම පැහැදිලි කර තිබූ අතර, එම දැඩි විරෝධය නැවත වරක් තහවුරු කෙරිණි.
"ලෝක කුසලානය ආයෝජන භාණ්ඩයක් ලෙස සැලකිය නොහැකියි," යනුවෙන් ඔවුන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
"එය පාපන්දු ක්‍රීඩාවේ ඇති විශිෂ්ටතම ක්‍රීඩා උරුමයන්ගෙන් එකක්. සෑම මහාද්වීපයකම ක්‍රීඩකයින්, ජාතික කණ්ඩායම් සහ ක්‍රීඩා ලෝලීන් විසින් පරම්පරා ගණනාවක් පුරා එය ගොඩනඟා ඇත. එහි කිසිදු කොටසක් කිසිවිටෙකත් පුද්ගලික ආයෝජකයින්ට පවරා නොදිය යුතුය. ලෝක කුසලානය විකිණීමට ඇති දෙයක් නොවේ." යැයි එම සංගමය පවසයි.
FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝගේ යෝජනා සාමාජික සංගම් විසින් ඡන්දයෙන් සම්මත කළහොත් ක්‍රියාත්මක වන මෙම UEFA වර්ජනයට, පිරිමි සහ කාන්තා ලෝක කුසලාන මෙන්ම සමාජ පාපන්දු ලෝක කුසලානය (Club World Cup) ඇතුළු සියලුම FIFA තරඟාවලි අයත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd