(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මයර් මහතා නිල වශයෙන් ඊයේ (12) දිවුරුම් දුන් බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (13) ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවති උත්සවයකදී ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝෆර් ලැන්ඩෝ මහතා ඉදිරියේ මයර් මහතා මෙරට තානාපතිවරයා ලෙස දිවුරුම් දී ඇත. මයර් මහතා දේශපාලන පත්වීමක් ලැබුවකු නොවන අතර ඔහු විදේශ සේවයේ අවුරුදු 20 කට වඩා වැඩි පළ පුරුද්දක් ඇති කීර්තිමත් නිලධාරියෙකි.

මයර් මහතා දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසද සැලකේ. ඔහු 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

ඊට පෙර ඔහු නෝර්වේහි ඇමෙරිකානු දූත මණ්ඩලයේ වැඩබලන තානාපතිවරයා ලෙස කටයුතු කළේය. තවද ඔහු ආර්ජන්ටිනාව, කාම්බෝජය, ඊජිප්තුව, ෆින්ලන්තය, කසකස්තානය සහ උතුරු මැසිඩෝනියාව ඇතුළු රටවල ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික සේවයේ කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස පත් කිරීම ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් පසුගිය මැයි මාසයේදී අනුමත කරනු ලැබීය. සෙනෙට් සභාවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරමින් මයර් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව පිහිටා ඇති ආකාරය හේතුවෙන් මෙරටට ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ විශේෂ වැදගත්කමක් හිමිවන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම, ඇමෙරිකානු ආයෝජන සඳහා අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම තම ප්‍රමුඛතා අතර වන බවද ඔහු සෙනෙට් විදේශ සබඳතා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.