
(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල්වල 6 සිට 11 ශ්‍රේණි දක්වා දෙවන වාර පරීක්ෂණවල ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අක්‍රමිකතා හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
ලංකා ගුරු සංගමයේ මධ්‍යම විධායක සභික කැළුම් ද සිල්වා මහතා පැවසුවේ, ජූලි 13 සිට 23 දක්වා දින නවයක් පුරා පැවැත්වෙන මෙම වාර විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර අදියර දෙකකින් නිකුත් කිරීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබූ බවයි.
ඒ අනුව පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ජූලි 8 සහ 9 දිනවලත්, දෙවන අදියරේ ප්‍රශ්න පත්‍ර ජූලි 15 සහ 16 දිනවලත් අදාළ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත නිකුත් කර, විදුහල්පතිවරුන් විසින් ඒවා ලබාගත යුතු බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සියලු පාසල් වෙත දැනුම් දී තිබුණි.
එහෙත් එම කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍ර නොලැබීම නිසා විභාග කටයුතු සැලසුම් කළ පරිදි සිදු කිරීමට නොහැකි වූ බව ගුරු සංගමය පෙන්වා දෙයි. කැළුම් ද සිල්වා මහතා සඳහන් කළේ, අද (21) පැවැත්වීමට නියමිත විභාගයේ ප්‍රශ්න පත්‍ර බොහෝ පාසල්වලට ලැබී ඇත්තේ අද උදෑසන බැවින්, විභාග ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට සිදු වූ බවයි.
මේ අතර, ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ ගැටලු තවදුරටත් උග්‍ර කරමින්, 2026 ජූලි 22 වැනිදා පැවැත්වීමට නියමිත 9 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය විෂය ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලයේ ප්‍රමාදයක් හේතුවෙන් නියමිත වේලාවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි වූ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව, ජූලි 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එම විෂයයන් දෙකේ පරීක්ෂණ ජූලි 24 වැනිදා පැවැත්වෙන ලෙස විභාග කාලසටහන සංශෝධනය කර ඇති අතර, ඒ පිළිබඳ සියලු විදුහල්පතිවරුන් කඩිනමින් දැනුවත් කරන ලෙස ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇත.
කෙසේ වෙතත්, එම නිවේදනය විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත්තේ අද (21) පස්වරු 2.30ට පමණ වන අතර, ඒ වනවිට බොහෝ පාසල්වල විභාග කටයුතු දහවල් 12.00ට පමණ අවසන් වී සිසුන් නිවෙස් බලා ගොස් තිබූ බව ලංකා ගුරු සංගමයේ මධ්‍යම විධායක සභික කැළුම් ද සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd